ත‍්‍රිකුණාමලයේ බුදු පිළිම කඩා දැමීම සංහිඳියාවට බාධාවක්

රට තුළ සංහිඳියාවක් ගොඩනැගීම සඳහා බෞද්ධයින් මෙන්ම සෙසු ආගමිකයින් තුළ ද කැපවීමක් තිබිය යුතු බව අස්ගිරි පාර්ශවයේ මහා ලේඛකාධිකාරී ශාස්ත‍්‍රපති පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් පවසනවා.

බුදු පිළිම කඩා දැමීම සහ වෙහර විහාරස්ථානවලට එරෙහි විවිධ ක‍්‍රියා හේතුවෙන් සංහිඳියාව ගොඩනැගීමට බාධා එල්ල වන බවයි උන්වහන්සේ පෙන්වා දුන්නේ.

ත‍්‍රීකුණාමල ප‍්‍රදේශයේ ස්ථාන හතරක බුදු පිළිමවලට එල්ල වූ ප‍්‍රහාරයන් සම්බන්ධයෙන් අදහස් දක්වමින් පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමියන් මේ බව කියා සිටියා.

“මේ පිළිබඳව අස්ගිරි මහා විහාරය හැටියට අපි රජය දැනුවත් කරලා තිබෙනවා. එපමණක් නොවෙයි ඔය ප්‍රදේශයේ තිබෙන විහාරස්ථාන විශාල ප්‍රමාණයක් ලියාපදිංචි කිරීමට පවා බාදක පනවනවා ඒ පරිපාලන ආයතන වළින්. ඒ පිළිබඳවත් අපි බුද්ධශාසන අමාත්‍යවරයාට දැනුවත් කරලා විධිමත් ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා”. මම පසුගියදා ගරු ජනාධිපතිතුමා හමුවුන වෙලාවක කිව්වා අපි ආගමික සංහිඳියාවක් ගැන කතාකරනවා, ඒ සංහිඳියාව අපේ බෞද්ධ ජනතාවට පමණක් නෙමෙයි අනෙක් ජනතාව අතරත් තිබෙන්න ඕන. ඔය විදිහට බුදු පිළිම කඩන්න බිඳින්න ගියාම අපේ මිනිස්සු ආවේගකාරී වෙලා සිංහල බෞද්ධයෝ මේ පළාත්වල තිබෙන කෝවිල් , දේවස්ථාන වලට හිරිහැර කරන්න ගියොත් සංහිඳියාවක් ඇතිවෙන්නේ නැහැ. අපි ඒ පිළිබඳව අවබෝධයෙන් කටයුතු කරන නිසා වළක්වගෙන ඉන්නවා.

මෙවැනි සිද්ධීන් වැළැක්වීමට අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගැනීම රජයේ වගකීමක් වන බවද පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් වැඩිදුරටත් සඳහන් කළා.

මඩකලපුව අම්පාර දෙපළාතේ උප ප‍්‍රධාන සංඝනායක පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් ද මේ පිළිබඳ අදහස් පල කළා.

දිගින් දිගටම උතුරු, නැගෙනහිර සිදු වන මෙවැනි සිදුවීම් පිළිබඳව පුදුම වියයුතු නොවන බවයි උන්වහන්සේ පැවසුවේ.

රටේ පාලකයන් සහ වගකිවයුතු පාර්ශව මේ පිළිබඳ සොයා නොබැලීම කණගාටුවට කරුණක් බවත් උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියා.