ජයලලිතාගේ මරණය ගැන සැකයක් සිරුර ගොඩ ගනීද?

තමිල්නාඩු ප්‍රාන්තයේ හිටපු මහ ඇමැතිනී ජයලලිතා ජයරාම්ගේ අභාවයෙන් පසු දැන් නැවතත් තමිල්නාඩුව තුළ විශාල ආන්දෝලනයක් ඇති වී තිබේ. ඒ ඇයගේ මරණය සැක සහිත බවට විවිධ ප්‍රකාශයන් ඉදිරිපත්ව ඇති නිසා ඇගේ සිරුර නැවත ගොඩගෙන පරීක්ෂණ පැවැත්විය යුතුය යන ආකාරයේ  ඉඟියක්  මදුරාසි මහාධිකරණය විසින් පලකරනු ලැබිමත් සමගය. ජයලලිතාගේ මරණය සැක සහිත බැවින් ඒ පිළිබඳ ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීම පිළිබඳ ඉල්ලීමක් පසුගිය දිනවල අධිකරණයට ඉදිරිපත්ව තිබිණි.
ජයලලිතාගේ මරණය සැක සහිත බවට අදහස් ඉදිරිපත් වන්නට වූයේ ඇය රෝගාතුරව සිටි අවසන් දිනවල සිදු වූ සිදුවීම් විනිවිද භාවයෙන් තොර බවට විවිධ පාර්ශ්ව දැඩි ලෙස චෝදනා කරන්නට පටන් ගැනීමත් සමගය. විශේෂයෙන් ජයලලිතා රෝහ‍ලේ සිටියදී ඇයගේ සුවදුක් බලන්නට යාමට පවා බොහෝ දෙනෙකුට ඉඩ දී නැති බව පැවසුණු අතර ඒ සියලු කටයුතු කිහිප දෙනෙකුගේ අධීක්ෂණය යටතේ  කිසියම් රහසිගත ආකාරයකින් සිදු වූ බවට අදහස් පල විය.
මෙම තත්ත්වය තුළ ඉදිරියේදී ජයලලිතාගේ සිරුර නැවත ගොඩ ගන්නටත්, ඒ ඔස්සේ පරීක්ෂණ ආරම්භ කරන්නටත් බොහෝ දුරට ඉඩ ඇති බව පෙනේ. මේ තත්ත්වය තුළ ජයලලිතාගේ අනුගාමිකයන් අතර මෙන්ම ඇයගේ ඕල් ඉන්ඩියා ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම්-ඒඒච්ර්ම් (පක්ෂය) තුළද විශාල නොසන්සුතාවක් හටගෙන ඇති ආකාරයක්ද වාර්තා වෙයි.
මේ අතර තවත් වැදගත් සිදුවීමක්  ඇය නායකත්වය දැරූ  පක්ෂය තුළ පසුගියදා සිදුවිය. එනම් ජයලලිතා විසින් දරන ලද පක්ෂ මහ‍ලේකම් ධුරය සඳහා කෙනෙකු පත් කර ගැනීමයි. පසුගිය 29 වැනි බ්‍රහස්පතින්දා පැවැති රැස්වීමකදී මෙම ධුරය සඳහා සසිකලා නඩරාසන් නිල වශයෙන් පත්කර ගැනීම සඳහා යෝජනාවක් සම්මත කරගන්නා ලදී. සසිකලා මේ සඳහා සිය කැමැත්ත ප්‍රකාශ කර ඇති බවද, ඒ අනුව ඉදිරියේදී ඇය පක්ෂයේ මහ‍ලේකම් ලෙස වැඩ භාර ගැනීමට නියමිත බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි.
සසිකලා නඩරාසන් ජයලලිතාගේ මරණයෙන් පසු ගෙවී ගිය සති කිහිපය පුරාම මහත් අවධානයට සහ ආන්දෝලනයට ලක් වූ චරිතයක් විය. ඇය දශක ගණනාවක් තිස්සේ ජයලලිතාගේ ඉතාම සමීප මිතුරියක ලෙසද ඇගේ සහායිකාවක ලෙසද කටයුතු කර ඇති තැනැත්තියක වන අතර සසිකලා ජීවත් වූයේද ජයලලිතා සමග, ‍පෝස් උද්‍යානයේ පිහිටි ‘වේද නිලයම්’ නිවසේමය. ජයලලිතා අවසන් දිනවල රෝගාතුරව අසාධ්‍ය තත්ත්වයෙන් පසුවෙද්දී ද සියලු කටයුතු සොයා බලමින් කටයුතු කර ඇත්තේ සසිකලා බව සඳහන් වූ අතර අවමඟුල අවස්ථාවේද ඇය කැපී පෙනෙන චරිතයක් වූවාය.
කෙසේ හෝ වේවා පසුගිය බ්‍රහස්පතින්දා පක්ෂයේ මහ‍ලේකම් තනතුරට ඇය පත් කරමින් පක්ෂයේ ‍‍‍ජ්‍යෙෂ්ඨයන් බහුතරයකගේ කැමැත්තෙන් යෝජනාවක් සම්මත කරගත්තද එය තාවකාලික පත්වීමක් පමණි. අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම්හි ව්‍යවස්ථාව අනුව පක්ෂයේ මහ‍ලේකම් නිල වශයෙන් පත් විය යුත්තේ පක්ෂයේ මූලික සාමාජිකත්වය දරන සියලු දෙනාගේම ඡන්දයෙනි. පසුගිය 29 වැනි දින සසිකලා එම ධුරයට පත් කරගන්නා ලද්දේ පසුව සාමාජිකයින්ගේ ඡන්ද විමසීම පවත්වන තුරු පමණි.
පක්ෂයේ ‍‍‍ජ්‍යෙෂ්ඨයන් වැඩි දෙනෙකු සසිකලා මහ‍ලේකම් කිරීම ගැන කැමැත්ත දැක්වුවද කිහිප දෙනෙකු ඊට විරුද්ධත්වය දක්වමින් රැස්වීමෙන් නැගිට ගොස් ඇති බවද සඳහන් වෙයි. ඒ අතරින් සමහරුන් පක්ෂයෙන් ඉල්ලා අස්වී ඇති බවද ඇතැම් වාර්තාවල සඳහන් විය.  කුලවාදී ගැටුමක්ද පක්ෂය තුළ පවතින අතර මේ වනවිට තමිල්නාඩු මහ ඇමැති ධුරය දරන ඕ. පනීර්සෙල්වම් සහ සසිකලා යන දෙදෙනාම අයත් වන්නේ එකම කුලයකටය. මෙම ප්‍රබල තනතුරු දෙකම එකම කුලයක දෙදෙනෙකු විසින් අත් කර ගනු ලැබිම ගැන පක්ෂය තුළ විරුද්ධයක් පවතින බව පසුගිය දිනවල අනාවරණය වී තිබිණි.
මේ අතර සසිකලා පක්ෂයේ බලය ඇල්ලීමට එරෙහිව ක්‍රියාත්මක වන තවත් ප්‍රධාන චරිත දෙකකි.  ඉන් එක් අයෙකු වන්නේ ජයලලිතාගේ ඥාති දියණිය වන දීපා ජයකුමාර්ය. ඇය ජයලලිතාගේ සොහොයුරා වන ජේ. ජයකුමාර්ගේ දියණියයි.
ඉදිරියේදී දේශපාලනයට පිවිසීමටත්, පක්ෂයේ බලය ඇල්ලීමටත් දීපා තුළද බලා‍පොරොත්තුවක් ඇති බව පෙනෙන්නට තිබේ. ජයලලිතා පසුකාලයේ ඇගේ පවු‍ලේ අය සමග වැඩි සම්බන්ධයක් පැවැත්වූයේ නැතත් දීපා, කලකට පෙර තමාත්, තම නැන්දණියත් අතර තිබූ සම්බන්ධය පිළිබඳ සංවේදී මතකයන් අවදි කරමින් කිසියම් අනුගාමිකයන් පිරිසක් ගොඩනගා ගන්නට මහන්සි ගනිමින් සිටින බවක් දැකිය හැකි වෙයි. දීපාගේ පෙනුමද බොහෝ දුරට ජයලලිතාගේ ඒ කාලයේ පෙනුමට සමාන  බැවින් මෙහිදී එයද ඇයට වාසියක් වන්නට ඉඩ ඇති බව සැලකේ.
ජයලලිතා  පසු කාලයේ පවු‍ලේ අයගෙන් ඈත් වීමට හේතුවද සසිකලා බව ඇතැම්  පාර්ශ්වයන්ගෙන් කියැවෙන කතාවකි. සසිකලා වුවමනාවෙන්ම මෙවැනි ඈත් කිරීමක් කරන්නට ඇති බවද, දීපා ජයලලිතාට කිට්ටු වුවහොත් තමාගේ අරමුණු ඉටු කරගන්නට නොහැකි වීමට ඉඩ ඇතැයි යන සැකයක් සසිකලා තුළ තිබෙන්නට ඇති බවද පසුගිය දිනවල කතාබහට ලක් වූ කාරණා බවට පත්ව තිබිණි. ජයලලිතා අසාධ්‍යව සිටි අවස්ථාවේ පවා දීපාට  ඇය බලන්නට ඉඩ දී නැති බව සඳහන් වූ අතර අවමඟුලට සහභාගි වීමටද ඉඩ දී නැතැයි මාධ්‍ය හරහා වාර්තා වී තිබිණි.
කෙසේ වෙතත් සසිකලා සහ දීපා අතර අරගලය ඉදිරියේදී කුමන ස්වරූපයක් ගනු ඇත්ද යන්න බොහෝ දෙනාගේ කුතුහලය අවුස්සන කාරණාවක් බවට පත්ව තිබේ. ජයලලිතාගේ කෝටි ගණනක දේපළවල අයිතිය පිළිබඳ කාරණයද තවමත් නොවිසඳී පවතින අතර දීපා ඇතුළු පවු‍ලේ උදවිය ඒ ගැනද අවධානයෙන් සිටිනවා විය යුතුය.  ජයලලිතා ජීවත් වූ සුප්‍රකට ‘වේද නිලයම්’ නිවසද කලකට ඉහත ඇගේ මව විසින් මිලදී ගන්නා ලද්දකි.  දීපා ඒ ගැනද උනන්දුවෙන් පසුවන ආකාරයක් පෙනී යයි. මෙම නිවස පරම්පරාවේ උරුමයක් බැවින් තමාටද ඊට අයිතියක් ඇති බව හැඟවෙන ආකාරයේ ප්‍රකාශයක් පසුගිය දිනවල ඇය මාධ්‍ය වෙත කර තිබෙනුද දැක ගත හැකි විය.
සසිකලාට විරුද්ධව සටන් බිමට බැස සිටින අනෙක් චරිතය වන්නේ කලෙකට ඉහත පක්ෂයෙන් නෙරපා හරින ලද පුෂ්පා නම් තැනැත්තියකි. සසිකලා පක්ෂ මහ‍ලේකම් කරන්නට යාමට එරෙහිව ඇය පසුගිය දිනවල අධිකරණය හමුවටද ගියාය. ඇගේ තර්කය වන්නේ සසිකලාට මහ‍ලේකම් ධුරය දැරීමට, පක්ෂ ව්‍යවස්ථාව අනුව අයිතියක් නැති බවයි. ඇය සඳහන් කරන ආකාරයට මහ‍ලේකම් ධුරයට පත් විය හැක්කේ වසර පහක් අඛණ්ඩව පක්ෂයේ සාමාජිකත්වය දැරූ කෙනෙකුට පමණි. නමුත් කලක් පක්ෂයෙන් ඉවත් කරනු ලැබ සිටි සසිකලා නැවත පක්ෂයේ සාමාජිකත්වය ලබා ගෙන ඇත්තේ 2012 වසරේය. මේ නිසා ඇය මහ‍ලේකම් වීම වැළැක්වීම සඳහා පුෂ්පා පසුගියදා මදුරාසි මහාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළාය. එහි තීන්දුව තවම ප්‍රකාශයට පත්ව නැත.
ජයලලිතාගේ මරණය සම්බන්ධයෙන්  සැක සංකා මතු කිරීමට ඉදිරිපත් වූ අය අතර පුෂ්පාද එක් චරිතයකි.  ඇය ද පවසන්නේ ජයලලිතාගේ අවසන් දිනවල කටයුතු සිදු කෙරුණු ආකාරයේ විනිවිදභාවයක් නොමැති බවයි. බොහෝ දෙනෙකුට ජයලලිතා බලන්නට පවා ඉඩ දී නැතැයි යන කාරණය මෙහිදී ඇය ද අවධානයට හසු කරන අතර  සෞඛ්‍ය ඇමැතිවරයාට පවා ජයලලිතා සිටි වාට්ටුවට යාමට ඉඩදී නැතැයි පැවසේ. ඒ අතර පුෂ්පා වරක් ඉන්දීය ජනාධිපති ප්‍රනාබ් මුඛර්ජි මුණ ගැසී ජයලලිතාගේ මරණය සම්බන්ධයෙන් මධ්‍යම විමර්ශන බියුරෝව හරහා විමර්ශනයක් සිදු කරන ලෙසද ඉල්ලා තිබිණි.
මේ අතර පක්ෂයේ මහ‍ලේකම් ධුරයට ඉදිරිපත් වීම සඳහාද පුෂ්පා තුළ බලා‍පොරොත්තුවක් තිබූ බව පසුගිය දිනවල පෙනී ගිය කාරණයක් විය.
කෙසේ වෙතත් දීපා ජයකුමාර්ට හෝ  පුෂ්පාට හෝ පක්ෂය තුළත්, ‍පොදුවේ ඡන්දදායකයන් තුළත් සසිකලාට තරම් තැනක් හිමි වනු ඇතැයි සිතිය හැකි නොවේ. සසිකලා සහ ජයලලිතා අතර පැවැති දීර්ඝකාලීන සමීපත්වයත්, ඒ ඔස්සේ ඇය ගොඩනගා ගෙන ඇති සම්බන්ධතා සහ පදනමත් මත සසිකලාට මෙම ගැටලුවලදී වැඩි වාසිදායක තත්ත්වයක් නිතැතින්ම හිමි වන බව පැහැදිලිය.
මේ අතර ජයලලිතා නියෝජනය කළ ආර්. කේ. නගර් යන මැතිවරණ ආසනයට තරග කරමින් ප්‍රාන්ත ආණ්ඩුවට එක්ව  මහ ඇමැති ධුරය සඳහාද ඉදිරිපත් වෙන ලෙස ඉල්ලීමක් පවා මේ වනවිට සසිකලා වෙත ඉදිරිපත් වෙමින් ඇති බව පැවසේ. මේ ආකාරයෙන් අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් (පක්ෂය) සිය මහ‍ලේකම් ධුරය සඳහා සසිකලා පත් කරගනිමින් වැඩ අරඹද්දී ඔවුන්ගේ ප්‍රධානම තරගකරුවා වන, කරුණානිධිගේ නායකත්වයෙන් යුතු ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් (DMK) තුළද වෙනස්කම් සිදුවෙමින් තිබේ. මේ වනවිට 92 වැනි වියේ පසුවෙමින් රෝගී තත්ත්වයේ සිටින කරුණානිධිට තවදුරටත් පක්ෂයේ කටයුතු ඉදිරියට ගෙන යාම අපහසු බැවින් ඔහුගේ පුත්‍රයා වන එම්.කේ. ස්ටාලින්ට වැඩි බලතල පවරමින් ඔහු වඩාත් ශක්තිමත් කිරීම සඳහා පක්ෂය පියවර ගනිමින් සිටින බව වාර්තා වෙයි. මේ සම්බන්ධයෙන් වැදගත් රැස්වීමක් ජනවාරි 4 වැනි දින පැවැත්වීමට නියමිත බවත්, එහිදී ස්ටාලින් පක්ෂයේ ‘ක්‍රියාකාරී සභාපති’ නමැති ධුරයක් සඳහා පත් කර ගනු ඇති බවත් පක්ෂ ආරංචි මාර්ග ඔස්සේ අනාවරණය වෙයි.
මේ අනුව තමිල්නාඩුවේ ප්‍රධාන පක්ෂ දෙකම නව නායකයන් දෙදෙනකු යටතේ  නව වසරේ වැඩ ආරම්භ කිරීමට නියමිතව ඇති අතර එය ප්‍රාන්තයේ දේශපාලනයේ අලුත් අවධියක් සනිටුහන් කරන අවස්ථාවක් වනු ඇති බව පැවසිය හැකිය. එමෙන්ම ජයලලිතාගේ මරණය සම්බන්ධයෙන් පවතින සැක සංකා මත පරීක්ෂණයක් පැවැත්වුවහොත් එයින් හෙළිවන කරුණු අනුව ඇගේ පක්ෂය තුළ යම් යම් උණුසුම් තත්ත්වයන් ඇති වීමට ඇති  ඉඩකඩද බලා‍පොරොත්තු විය හැක්කකි.

නිහාල් පීරිස්