පෝරකය මානයේ සිට උපාධිය පැළඳගත් ඉන්දික බමුණුසිංහ

සමන් ගමගේ

* අවුරුදු දෙකටම ගියේ දේශන අටටයි
* උඹලා උපාධි ගන්නේ ලොකු පුටුවලට ඇවිත්  අපිට කෙළින්නද?

 

මොහොමඩ් ආමදීන් මොහොමඩ් සියාම්.. ඔහු කොළඹ බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි කෝටිපති ව්‍යාපාරිකයෙකි. එහෙත් මුළු රටේම ආන්දොaලනයක්‌ ඇති කරමින් මීට තෙවසරකට පමණ ඉහතදී මේ කෝටිපතියා බියගම දොම්පේ ප්‍රදේශයේ ලඳු කැලෑවකදී වෙඩි තබා අභිරහස්‌ ලෙස ඝාතනය කර තිබිණි.

මෙම අභිරහස්‌ ඝාතනයත් සමඟ එකල එය විසඳීමේ වගකීම මුලින්ම පැවරුණේ කොළඹ අපරාධ කොට්‌ඨාසයටය. එහෙත් එවකට පොලිස්‌පතිවරයාව සිටි එන්. කේ. ඉලංගකොන් මහතාගේ නියෝගයෙන් පසුව එකී විමර්ශන කටයුතු අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙනු ලැබිණි.

මොහොමඩ් ෆවුස්‌ඩීන් සහ නිශාන්ත කෝරළගේ.. ඒ නම් දෙක නැවතත් මතක තබා ගන්න නිශාන්ත කෝරළගේ සහ මොහොමඩ් ෆවුස්‌ඩීන්. මේ දෙදෙනා අතරින් මොහොමඩ් ෆවුස්‌ඩීන් යනු මරා දැමුණු කෝටිපතියා හෙවත් සියාම්ගේ සමීප මිතුරෙක්‌ විය. කෝරළගේ යනු ෆවුස්‌ඩීන් දැන හඳුනාගෙන සිටි එකල පොලිසියේ බොහෝ මහත්තුරු සමීපව ඇසුරු කළ අයෙක්‌ වූවේය.

මේ කතාව ඇරඹෙන්නේ එතැනිනි. එතැන් සිට එය ගලා යන්නේ මෙසේය. එදා සියාම්ගේ ඝාතනය සම්බන්ධයෙන් පරීක්‍ෂණ සිදු කළ සීඅයිඩීය මුලින්ම අත්අඩංගුවට ගත්තේ මොහොමඩ් ෆවුස්‌ඩීන් සහ නිශාන්ත කොරළගේ නමැති ඉහත කී පුද්ගලයන් දෙදෙනාවය.

ඝාතනය කිරීම සඳහා කෝටිපති ව්‍යාපරික මොහොමඩ් සියාම් බම්බලපිටියේ පිහිටි නිවසේ සිට රැගෙන එන්නේ ෆවුස්‌ඩීන් බවත් පසුව සියාම්ව භාර දෙන්නේ කොරළගේට බවත් විමර්ශනවලදී පොලිසිය පැහැදිලිවම අනාවරණය කර ගැනීම එයට හේතු විය.

මොහොමඩ් ෆවුස්‌ඩීන් සියාම්ව නිවසේ සිට රැගෙනවිත් කොරළගේට භාරදීමෙන් පසු සියාම්ට අයත් මෝටර් රථය මිරිහාන පොලිස්‌ බලප්‍රදේශයේ ස්‌ථානයටකට ගෙනවිත් අතහැර ගිය බවද පොලිසිය හෙළි කරගෙන තිබිණ.

ඉන් පැහැදිලිවම කියවෙන්නේ ෆවුස්‌ඩීන් සහ කෝරළගේ යන දෙදෙනා නොසිටියේ නම් කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් තවමත් ජීවතුන් අතර වන බවය. සියාම්ගෙන් ලබාගත් රුපියල් කෝටි තුනක පමණ මුදලක්‌ ගෙවා ගත නොහැකිව ෆවුස්‌ඩීන් සියාම් ඝාතනය කිරීමට සැළසුම් කළ බවද හෙළිවිය.

එහෙත් මෙහිදී අවසානයට සිදු වූයේ කුමක්‌ද? ෆවුස්‌ඩීන් සහ කෝරළගේ හෙළි කළ තොරතුරු අනුව සියාම් ඝාතනය සම්බන්ධයෙන් පසුව රහස්‌ පොලිසිය එකල පොලිසියේ සිටි කීර්තිමත් නිලධාරියකු වූ හිටපු නියෝජ්‍ය පොලිස්‌පති වාස්‌ ගුණවර්ධන සහ ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන ඇතුළු පොලිස්‌ නිලධාරින් කිහිප දෙනෙක්‌ද අත්අඩංගුවට ගනු ලැබීය.

ඉන් අනතුරුව සිදු වූයේ රහස්‌ පොලිසියේ වත්මන් විමර්ශනවල ප්‍රකට ක්‍රමවේදය අනුව නීතිපතිවරයාගේ විශේෂ සමාවක්‌ ලැබ මොහොමඩ් සියාම් නම් වූ කෝටිපතියා ඝාතනය කරන්නට සැලසුම් කළ හා ඔහුව නිවසින් කැඳවාගෙන ආ මොහොමඩ් ෆවුස්‌ඩීනුත්, සියාම් අතරමගදී රැගෙන ගිය නිශාන්ත කොරළගේත් රජයේ සාක්‍ෂිකරුවන් කෙරෙද්දී සියාම් ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු ඩීඅයිජී වාස්‌ ඇතුළු පොලිස්‌ නිලධාරින්ට සහ වාස්‌ ගුණවර්ධනගේ පුත් රවිඳුට එරෙහිව නඩු පැවරීමය.

මෙරට තුළ යම් අපරාධයක්‌ වූ කල්හි නීතිය ඉදිරියේ එහි පැමිණිල්ල වනුයේ රජය හෙවත් නීතිපතිවරයාය. වින්දිත පාර්ශ්වයද අයත් වනුයේ පැමිණිල්ලේ සාක්‍ෂිකරුවන්ටය. ඒ තත්ත්වය තුළ අපරාධයකදී ඊට සම්බන්ධ වූවකු රජයේ සාකක්‍ෂිකරුවකු කිරීමේ බලය නීතිපතිවරයාට ඇත.

එහෙත් මෑතකාලයේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හෙවත් සීඅයිඩීය සිය විමර්ශනවලදී රජයේ සාක්‍ෂිකරුවන් බිහිකළ අන්දම දෙස බලන කළ යුක්‌තිය පිළිබඳ යම් ගැටලුසහගත බවක්‌ මතු නොවන්නේද? ඇතැම් අවස්‌ථාවල ඇතැමුන් රජයේ සාක්‍ෂිකරුවන් කිරීම සඳහා සීඅයිඩීයේ විමර්ශකයන් බලපෑම් කළ බවක්‌ද පසුගිය කාලයේ වාර්තා විය.

එම තත්ත්වය තුළ මේ මතුව තිබෙන්නේ එකී ක්‍රියාවලිය පිළිබඳ මෙරට නීති අංශයන්හි දැඩි අවධානය යොමු විය යුතු කාලය නොවන්නේද?

කෙසේ වෙතත් මොමඩ් සියාම් ඝාතනය සම්බන්ධයෙන් පැවති නඩු විභාගය අවසානයේ දී හිටපු ඩීඅයිජී වාස්‌ ගුණවර්ධන ඇතුළු පිරිසට අධිකරණය මගින් මරණ දඬුවම නියම කරනු ලැබීය. ඒ අනුව ඔවුහු පෝරකයට ගියහ. රජයේ සාක්‍ෂිකරුවන් වූ සියාම් මරන්නට සැළසුම් සකස්‌ කළ ෆවුස්‌ඩීන් සහ කෝරළගේ ගෙදර ගියේය.

ක්‍රමයෙන් මේ කතාව රටේ ජනාවටද අමතකව යමින් තිබිණ. එහෙත් හිටපු ඩීඅයිජී වාස්‌ ඇතුළු පිරිස මෙසේ සිරගත වෙද්දී එදා ඒ අතරේ එක්‌ සුවිශේෂී චරිතයක්‌ද විය. ඒ උප පොලිස්‌ පරීක්‍ෂක බමුණුසිංහ ආරච්චිගේ ලක්‌මිණ ඉන්දික බමුණුසිංහය.

කාලයත් සමඟ එදා කාටත් අමතකව ගිය සියාම් ඝාතනය පිළිබඳ ඉහත කී කතාව යළිත් කරළියට ගෙන එන්නට අද උප පොලිස්‌ පරීක්‍ෂක බමුණුසිංහ සමත්ව සිටින්නේය. ඒ මරණීය දණ්‌ඩනය නියම සිටියදී දැඩි මානසික ඒකාග්‍රතාවකින් යුතුව සිය අධ්‍යාපන කටයුතු නොකඩවා කරගෙන යමින් මෙරට ඉතිහාසයේ සිරගතව සිට උපාධියක්‌ දිනා ගත් එකම පුද්ගලයා බවට පත්වෙමිනි.

වැලිකඩ බන්ධනාගාරයේ සිට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ශාස්‌ත්‍රවේදී සාමාන්‍ය උපාධිය දිනාගත් ලක්‌මිණ ඉන්දික බමුණුසිංහට එම උපාධිය පිරිනැමීමේ උත්සවය ඉකුත් 5 වැනිදා කොළඹ බණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණ.

හේ සිය උපාධිය ලැබා ගැනීමට වේදිකාව වෙත පැමිණි මොහොත ඉතාම හැඟීම්බර එකක්‌ද විය. විවාහ වී සති තුනක්‌ ඉක්‌ම යැමටත් ප්‍රථම සිර කූඩුවක තනිවූ සිය සැමියා ඒ ජයග්‍රහණය දිනා ගන්නා මොහොතේ බමුණුසිංහගේ ආදරණීය බිරිඳ කඳුළු පිරි දෙනෙතින් යුතුව ඒ දෙස බලා සිටියේ සතුට සමඟ මුසුවූ දැඩි වේදනාවකින් යුතුවය.

අවසානයේ ඒ ජය ලබා සිය සැමියා පැමිණෙන මොහොතේ ඉදිරියට ගිය ඇය දැඩි ස්‌නේහයකින් යුතුව ඔහු වැළඳගෙන කඳුළු සලන්නට වූවාය. ඒ සෑම කඳුළකම තිබුණේ අසරණකමේ සහ තනිකමේ වේදනාව විය යුතුය.

ඔහු උපාධි ලෝගුවද පැළඳ වේදිකාව මතට නැගී සිය උපාධි සහතිකය ලබා ගන්නා මොහොතේ ඉතිහාසය වෙනස්‌ කළ මේ මිනිසාට සියල්ලන්ගෙන්ම ලැබුණේ ඉහළම ප්‍රතිචාරයකි. ඔහු මීනී මරුවකු විය හැකිදැයි යන ප්‍රශ්නාර්ථයද එහිදී කාටත් මතුව තිබිණි. අප දන්නා තරමින් මිනිස්‌ ඝාතකයකු යනු විසිර ගිය මනසකින් යුතු හදවතින් විඳවන්නාවූ චරිතයකි. එහෙත් මිනිස්‌ ඝාතනයක්‌ සම්බන්ධයෙන් චෝදනා එල්ලවී දඬුවම් ලැබූ බමුණුසිංහ අද ඒකාත්මික වූ මනසකින් යුතුව විශ්මයක්‌ කර ඇත. උපාධිය දිනා ගන්නා මොහොතේ ඔහු මිනීමරුවකු වන්නේ කෙසේදැයි යන ප්‍රශ්නාර්ථය එහි රැස්‌ව සිටයවුනට මතු වූයේ ඒ නිසා විය යුතුය.

හෙතෙම මේ විශ්මිත හපන්කම කරනු ලැබුවේ බොහො බාධක මැද අති දුෂ්කර වු ගමනක යෙදෙමින් බවද මෙහිදී බමුණුසිංහට දිරිදීමක්‌ වශයෙන් සටහන් කළ යුතුය.

සියාම් ඝාතන නඩුව විභාග වෙමින් සිටියදී ලක්‌මිණ ඉන්දික බමුණුසිංහ නම් වූ මේ දිරිය පොලිස්‌ නිලධාරියා සිටියේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිය උපාධියට අදාළ වූ විෂයන් පිළිබඳ ඩිප්ලෝමාව හදාරමිනි. ඒද සිරගතවය.

එහිදී වරක්‌ බමුණුසිංහ විමර්ශන සිදු කළ එක්‌තරා රහස්‌ පොලිස්‌ ප්‍රධානියකුගෙන් තමන්ට ඩිප්ලෝමාවේ දේශනවලට සහභාගි වීම සඳහා අවසර ලබා දෙන ලෙස ඉල්ලීමක්‌ කළේය. එහෙත් එම ඉල්ලීමේදී ඔහුට එකී පොලිස්‌ නිලධාරියාගෙන් ලැබුණේ කුමක්‌ද?

“ආ උඹ හදන්නේ ඩිප්ලෝමා කරලා ලොකු පුටුවකට ඇවිත් අපිටත් කෙළින්න”දැයි බමුණුසිංහගෙන් පෙරලා ප්‍රශ්න කළ එකී පොලිස්‌ ලොක්‌කා පසුව දේශනවලට සහභාගිවන මුවාවෙන් බමුණුසිංහ උත්සාහ ගන්නේ බන්ධනාගාරයෙන් පැන යැමට යෑයි අධිකරණයටද කීවේය.

කෙසේ වෙතත් ඒ සියලු බාධක මැද බමුණුසිංහ සිරගතව සිටියදී මුලින්ම සම්පූර්ණ කර ගනු ලැබුවේ සිය ඩිප්ලෝමාවය. ඉන් පසුව ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශාස්‌ත්‍රවේදී සාමාන්‍ය උපාධියට සූදානම් විය. ඒ වන විට ඔහුට මොහොමඩ් සියාම් ඝාතන නඩුවෙන් මරණීය දණ්‌ඩනය ද නියම වී තිබිණ.

එහෙත් ඔහු සැලුණේ නැත. සිපිරි ගෙදර බිත්ති අතරට මැදි වූ බමුණුසිංහ සිය උපාධියේ අධ්‍යාපන කටයුතු ආරම්භ කළේය. මෙහිදී ඔහු ඉදිරියට ආ බරපතළම ගැටලුව වූයේ විශ්වවිදාHdලයේ පැවැත්වෙන දේශනවලට සහබාගි වීමට තිබූ ඉඩ ඇහිරී යැමය.

එහෙත් මේ දිරිය මිනිසාට එහිදී උපරිම සහාය ලබා දීමට බන්ධනාගාර කොමසාරිස්‌ ජෙනරාල් නිශාන් ධනසිංහ සහ වැලිකඩ බන්ධනාගාරයේ අධිකාරි චන්දන ඒකනායක යන මහත්වරුන් ප්‍රධාන සියලු නිලධාරීන්ගෙන් සහොදරත්වයෙන් යුතුව ඉදිරිපත් වූහ.

සිය උපාධිය සඳහා විෂය කරුණු හදාරද්දී වසර දෙකක කාලය තුළ බමුණුසිංහට විශ්වවිද්‍යාලයේ දේශන සඳහා සහභාගි වීමට වරම් ලැබුණේ අවස්‌ථා හත අටකදී පමණි. එහෙත් ඒ අඩ්ව පුරවමින් සිය සැමියා යන ගමනට දිරි දෙන්නට එහිදී ඉදිරිපත් වූයේ බමුණුසිංහගේ බිරිඳය.

බන්ධනාගාර බලධාරීන්ගේ විශේෂ අවසරයක්‌ මත බමුණුසිංහට සිය අධ්‍යාපනය කටයුතු වෙනුවෙන් පටිගත කිරීමේ යන්ත්‍ර දෙකක්‌ භාවිත කිරීමට අවස්‌ථාව හිමි විය. ඒ අනුව ඔහු බලන්නට බන්ධනාගාරයට එන බිරිඳ සති අන්තයේ පැවැත්වෙන විශ්වවිද්‍යාලයේ දේශන සඳහා ඉන් එක්‌ පටිගත කිරීමේ යන්ත්‍රයක්‌ රැගෙන බමුණුසිංහ වෙනුවට එහි ගියාය.

සියලු දේශන එම පටිගත කිරීමේ යන්ත්‍රයේ ගබඩා කරගත් ඇය පසුදින ඔහු හමුවට පැමිණ බන්ධනාගාරයේ අවසරය මත එය ඔහුට දී අනෙක්‌ පටිගත කිරීමේ යන්ත්‍රය රැගෙන සමුගෙන යන්නට වූවාය. එසේ මාරුවෙන් මාරුවට ඇය දේශන පටිගතකර සිය සැමියාන ගෙන දුන්නාය. කෙටියෙන්ම කිවහොත් බමුණුසිංහ උපාධිය කළේය. ඒ වෙනුවට ඇය දේශනවලට ගියාය.

මෙසේ බිරිඳ ගෙනවිත් දෙන පටිගත කිරීමේ යන්ත්‍රයේ වූ දේශනවලට බන්ධනාගාරයේ සිට සවන් දුන් බමුණුසිංහ අදාළ සටන් ලියා ගත්තේය. අඳුරු කුටියක සිරවී සිටිය ද සොඳුරු බලාපොරොත්තුවකින් යුතුව දිරියෙන් යළි යළිත් ඒවා පාඩම් කළේය. මෙනෙහි කළේය.

ඔහුට දින හතඅටක්‌ හරි විශ්වවිද්‍යාලයේ දේශනවලට සහභාගි වීමට අවස්‌ථාව ලැබී ඇත්තේ එන්.සී.බී.එස්‌. මොරායස්‌ සහ මොහොමඩ් සහාබ්දීන් යන විනිසුරුතුමන්ලාගේ මානුෂීය බව නිසාය. උපාධිය දිනාගත් මොහොතේ හේ ඒ බව දැඩිලෙස හැඟීම්බරව සඳහන් කළේය.

බමුණුසිංහ බන්ධනාගාරයක සිරවී මෙසේ දිරියෙන් සිය උසස්‌ අධ්‍යාපන කටයුතු කරගෙන යමින් සිටියදී බමුණුසිංහගේ දහවතට දැඩි ලෙස වේදනා දුන් සිදුවීමක්‌ ද එක්‌ දිනක සිදු විය. ඒ ඔහුගේ ආදරණීය මෑණියන් ජීවිතයෙන් සමුගෙන යැමය. සිය මවගේ වෙන්ව යැම අසා ඔහු සිරමැදිරියේ තනිවී කාටත් රහසේ හඬා වැටුණේය. එහෙත් අවසානයේ දැඩිකරගත් සිතින් යුතුව සිය ඉලක්‌කය වෙත යැම ඇරඹීය.

සාමාන්‍ය සිර ඇඳුමින් මොහොතකට මිදී යුරෝපීය ඇඳුමින් සැරසී හෙතෙම සිය උපාධිය දිනාගෙන යළි පැමිණෙන මොහොතේ සතුටින් ඒ දෙස බලා සිටි වැලිකඩ බන්ධනාගාරයේ අධිකාරි චන්දන එක්‌නායක මහතාද එක්‌ වටිනා ප්‍රකාශයක්‌ කළේය.

ඔහු කීවේ උප පොලිස්‌ පරීක්‍ෂක ලක්‌මිණ ඉන්දික බමුණුසිංහ මෙසේ ලබාගත් ජය තුළින් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට මෙන්ම පොලිස්‌ දෙපාර්තමේන්තුවටත් ඓතිහාසික කීර්තියක්‌ අත්කර දුන් බවය.

අද එසේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවට සහ පොලිස්‌ දෙපාර්තමේන්තුවට කීර්තියක්‌ අත්කර දෙන තැන දක්‌වා වීර්යයෙන් ගමන් කළ බමුණුසිංහ මෙසේ සිරිගත වීමට පෙර ජාත්‍යන්තර වශයෙන් රටටද කීර්තියක්‌ අත්කර දුන් ජාතික තලයේ බොක්‌සිං ශූරයකුද වන්නේය.

මෙසේ දහසක්‌ බාධක මැද දැඩි උත්සාහයකින් යුතුව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ශාස්‌ත්‍රවේදී සාමාන්‍ය බාහිර උපාධිය දිනාගත් බමුණුසිංහ ආරච්චිගේ ලක්‌මිණ ඉන්දික බමුණුසිංහ නම් වූ ඒ දිරිය මිනිසා සිය ජයග්‍රහණයේ සංෙ€තය ලබා ගැනීමෙන් පසු තවත් වටිනා කතාවක්‌ද කීය.

ඒ තමන් ඉදිරියේදී පශ්චාත් උපාධිය හදාරන්නටද සූදානමින් සිටින බවය. එහිදී ඔහු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් එක්‌ සංවේදී ආයාචනයක්‌ද කළේය.

එය වූයේ සිය පශ්චාත් උපාධියේදී සියයට හැත්තෑවක්‌ දේශනවලට සහභාගි වීම අනිවාර්ය බැවින් තමන්ට ඊට සහභාගි වීම සඳහා අවස්‌ථාවක්‌ හිමි කර දෙන ලෙසය. ඔහු ඒ ටික කීවේ දැඩි විශ්වාසයකින්ද යුතුවය. එසේම ඉදිරියේදී තමන්ට අධිකරණයෙන් යුක්‌තිය ඉෂ්ට වනු ඇතැයි යන්න තමන්ගේ එකම බලාපොරොත්තුව බවද එහිදී ඔහු හැඟීම්බරව කීය.

සැබවින්ම බන්ධනාගාර ඉතිහාසය වෙනස්‌ කළ මේ මිනිසා දෙස එදා බලා සිටියදී අප තුළද විශාල ගැටලුවක්‌ මතු විය. ඒ ඇත්තෙන්ම බමුණුසිංහ ආරච්චිගේ ලක්‌මිණ ඉන්දික බමණුසිංහ මිනිස්‌ ඝාතකයකු විය හැකිද යන්නය.

ඒ ගැටලුව අප තුළ මතුව තිබෙන්නේද ඔහුගේ මානසික ඒකාග්‍රතාව සහ සිතුවිලිවල උසස්‌ බව මෙන්ම ධාරණ ශක්‌තිය පිළිබඳ අද බමුණුසිංහ මුළු ලෝකයටම පෙන්වා දී තිබෙන සත්‍ය නිසාය.

මිනිස්‌ ඝාතනයක්‌.. පොලිස්‌ විමර්ශනයක්‌.. රජයේ සාක්‍ෂියක්‌.. ලැබුණු දඬු`වමක්‌ ඝාතනය හැර අන් සියල්ල රටේ නීතිරාමුව තුළ සිදුවූ දේය. එහෙත් මෙවැන්නකු ඇත්තෙන්ම මිනිස්‌ ඝාතකයකු විය හැකිද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *