ලංකාවේ දේශපාලන වේදිකාවට ආ හිට්ලර්ගේ සිහින මෝටර් රිය

මලලසේකර ශබ්දකෝෂයේ Bettle යන වදනට සපයා ඇති සරල සිංහල තේරුම වනුයේ ‘කුරුමිණියා’ යන්නයි. එහෙත් ශ්‍රී ලාංකිකයෝ එක සුවිශේෂී කුරුමිණියෙකු ‘ඉබ්බා’ ලෙසින් හඳුන්වති. මේ ඉබ්බාට ඉබි හැඩයක් මිස ඉබි කටුවක් හෝ ඉබි ගමනක් නැත්තේය. පශ්චාත් භාගයේ එන්ජිමක් සවිකරගෙන විදුලි වේගයෙන් එහේමෙහේ යන මේ ඉබ්බා වොක්ස්වැගන් (පළවන මාදිලිය) මෝටර් රථයයි.
වොක්ස්වැගන් යනු ජර්මනියේ ප්‍රකට මෝටර් රිය සමාගමකි. එහි වේරියන්ට්, කාමන්ගිහා, පැසට්, ගෝල්ෆ්, ජෙටා, ‍පෝලෝ වැනි මෝටර් රථ මාදිලි ගණනාවක් නිපදවා ඇත. එහෙත් වොක්ස්වැගන් නම කියූ සැනින් ශ්‍රී ලාංකිකයන්ගේ පමණක් නොව ලෝකයේ මෝටර් රථ ලෝලී බහුතරයකගේ සිතේ ඇඳෙනුයේ Bettle නොහොත් (Volkcswegan Type 1) වොක්ස් වැගන් පළමු මාදිලියේ මෝටර් රියයි. ඊට හේතුව වොක්ස්වැගන් බිට්ල් රිය එතරම්ම ජනප්‍රිය මෝටර් රථයක්වීමය.
වොක්ස් වැගන් බිට්ල් රිය බිහිවනුයේ ජර්මනිය පාලනය කළ ආඥාදායක නායකයා වූ ඇඩොල්ෆ් හිට්ලර්ගේ සිතුවිල්ලකට අනුවය. මුළු ලොවම තම අණසකට නතු කරගෙන ජර්මානුවන් ලොව ඉහළම තලයේ තැබිමට කල්පනා කළ හිට්ලර් තුළ මූලික අරමුණු කිහිපයක් විය. ඒ සෑම ජර්මානුවෙකුටම ස්ථීර රැකියාවක්, නිවසක් සහ මෝටර් රියක් හිමිකර දීමය. මේ අරමුණ සහිතව කටයුතු කළ හිට්ලර් Ferdincind Porche නම් ඉංජිනේරුවා කැඳවා පස්දෙනෙකුට ගමන් කළ හැකි, ශක්තිමත්, නඩත්තු අඩු රියක් සැලසුම් කරන ලෙස නියෝග කර ඇත. ජර්මනියේ අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් සැලසුම් කළ මෙම මෝටර් රිය වොක්ස් (මහජනයා) වැගන් (වාහනය) යන අරුත සහිතව වොක්ස්වැගන් ලෙස නම් කර තිබේ.                                            (ඩබල් ග්ලාස්)

වොක්ස්වැගන් මෝටර් රථය නිමවූයේ දොර දෙකේ සැලුන් රියක් ලෙසිනි. එහි විශේෂය වූයේ එන්ජිම පිටුපස පිහිටා තිබිමයි. එමෙන්ම වා සිසිලන පද්ධතියකින් සමන්විත වොක්ස්වැගන් රියේ ඉදිරිපසට ගියර් හතරකි. මුලින්ම නිපදවූ වොක්ස්වැගන් බිට්ල් රිය (Type One) පළමු මාදිලිය ලෙසින් හැඳින්වූ අතර එහි 1100CC ප්‍රමාණයේ එන්ජිමක් සහ වෝල්ට් හයක බැටරියකින් සමන්විත විය. එහි පිටුපස වීදුරුව දෙකට බෙදා තිබූ නිසා ඩබල් ග්ලාස් මොඩ්ල් ලෙසින්ද හැඳින්වේ. පසුකාලීනව 1200, 1300, 1303 වැනි එන්ජින් ධාරිතාවන්ගෙන් යුත් මාදිලි ගණනාවක බිට්ල් රථ වෙළෙඳ‍පොළට පැමිණෙනු දැකගත හැකිවිය. මේ සෑම රියකටම වා සිසිලන එන්ජිම, ඉබිකටුවක හැඩය ‍පොදුවිය. එහෙත් 1200 කණ්ඩයේ අග භාගයේ සහ 1300 කාණ්ඩයේ මුල්භාගයේ සිට ඉදිරියට නිපදවූ වොක්ස්වැගන් රථවල බැටරිය සහ ආරෝපණ පද්ධතිය 12ක් ලෙසින් වැඩිදියුණු කරන ලදී. 1302 – 1303 මාදිලියේ බිට්ල් රථවල ආරෝපණ පද්ධතිය තවදුරටත් දියුණු කර තිබූ අතර එම රථවල ඩයිනමෝව ඉවත් කර ඕල්ටනේටර් එකක් සවිකරන්නට නිෂ්පාදකයා කටයුතු කර තිබුණි. එහෙත් කාර්යක්ෂම ආරෝපණය නිසා අදටත් ඩයිනමෝව සහිත බිට්ල් රථ ඉතා ජනප්‍රියය.
වොක්ස්වැගන් බිට්ල් රියේ එන්ජිම ඔක්ස්ෆර්ඩ්ෂයර් මාදිලියේ එකකි. එහි පිස්ටන් හතරම සිරස් අතට ක්‍රියාකරයි. සැහැල්ලු ඇලුමිනියම් ලෝහයෙන් නිමකර ඇති එන්ජින් සිරස (හෙඩ් එක) සවිකිරීමේදී ගෑස්කට් එකක් යොදා නොගැනීම විශේෂ කරුණකි. එන්ජිම සහ ගියර් පෙට්ටිය ඇණ තුනකින් පමණක් සම්බන්ධ කර තිබෙන අතර රේඩියේටරයක් නොමැති නිසා එන්ජිම සිසිල් කිරීමට විශේෂ උපක්‍රම මගින් රත්වූ ලිහිසි තෙල් සිසිල් කිරීම සිදුකරයි. ඒ සඳහා තෙල් සිසිලනයක් (ඔයිල් කූලර්) එකක් රථයට සම්බන්ධ කර තිබෙනා අතර ඩයිනමෝවට සම්බන්ධ විශේෂ පංකාවක් මගින් තෙල් සිසිලනය (ඔයිල් කූලරය) සිසිල් කරනු ලැබේ. මෙම පංකාව මගින් සිසිල් වෙන වායුව වෙනමම කුටීරයක සංසරණය වෙයි. මෙම සිසිලන පංකාවේ පෙතිවල ආනතිය වෙනස් කිරීමෙන් රථයේ හඬ පවා වෙනස් කළ හැකිය.
එන්ජිමේ සිසිල්වීම සඳහා රථය ගමන් කරනාවිට ඉදිරිපසින් සිසිල් වූ වායුව ලබාගැනීම සිදුකරනා අතර සීත රටවල රථය තුළ උණුසුම පවත්වාගෙන යෑමට එන්ජින් කුටීරයේ උණුසුම් වායුව රථය තුළට ගැනීමටද විශේෂ උපක්‍රම බිට්ල් රියේ ඇත.
වොක්ස්වැගන් බිට්ල් රියේ පෙට්‍රල් ටැංකිය සවිකර ඇත්තේ ඩිකිය තුළ (රථයේ ඉදිරිපස)ය. නැගෙනහිර සහ බටහිර ජර්මනිය වෙන්ව පැවති යුගයේ බිට්ල් රියේ ඉදිරිපස ටැංකිය ගලවා ඒ තුළ මිනිසුන් සඟවා දේශසීමාව හරහා ගෙනගිය බවත් කියැවේ. ඉතා සරල තිරිංග ක්‍රමයක් සහිත බිට්ල් රියේ ප්‍රධාන තිරිංග ‍පොම්පය රථයේ ඉදිරිපස සවිකර ඇත. 550*15 ප්‍රමාණයේ ටයර් සහිතය.
වොක්ස්වැගන් බිට්ල් රියේ අවලම්බන පද්ධතිය ඉතා සුවිශේෂී  එකකි. රථයේ පිටුපස ටෙලස්කොපික් මාදිලියේ කම්පන උරවන (Shock Absober) වලින් සමන්විත වන අතර ඉදිරිපස හරස් අතට යෙදූ දුනුමිටියක් සහ ටෙලස්කොපික් මාදිලියේ කම්පන උරවන යුගලයකින් සමන්විතය. බිට්ල් රියේ ඉදිරිපස දුනුමිටිය වෙනම සැකැස්මක් තුළ ස්ථාන ගතකර ඇත. දුනුපටියක සාමාන්‍ය පළල අඟලක් පමණ වන අතර කඩු සෑදීම සඳහා වොක්ස්වැගන් දුනු කොළය ඉතා යෝග්‍ය බව කම්මල්කරුවන් කිහිපදෙනෙකුම මෙම ලියුම්කරුට පවසා ඇත. බිට්ල් රියේ පිටුපස රෝද ඇතුළට ආනතව පිහිටා තිබෙන අතර එය සෘජුව පිහිටනුයේ රථයට බර පටවන ක්‍රමය අනුවය.
බොහෝදෙනෙකු සිතන්නේ බිට්ල් රියේ ලකුණ ඉංග්‍රීසි වී සහ ඩබ්ලිව් අකුරු දෙක බවය. එහෙත් ඒ ලකුණු වොක්ස්වැගන් සමාගමේ ‍පොදු ලකුණ මිස බිට්ල් රියට ආවේණික වූවක් නොවෙයි.                                                (කනේ මයිල්)

බිට්ල් රියේ ලකුණ වනුයේ බර්ලින් තාප්පය මත දිව යන නරියාගේ රුවයි. (මෙම සලකුණ බිට්ල් රියට ලැබුණේ එය නිෂ්පාදනය කර වසර කිහිපයකට පසු බවට මතයක්ද වෙයි.) සැබැවින්ම මෙය හුදු ලකුණක් පමණක් නොව බිට්ල් රියේ ක්‍රියාකාරීත්වය පිළිබඳ පණිවුඩයක්ද මෙම ලකුණේ සැඟව ඇත. ඒ නරියා යනු දිවයන වේගයෙන්ම ආපසු හැරී බැලිය හැකි එකම සතා ලෙස සැලකෙන අතර බිට්ල් රියද ධාවනය වන අතරතුර පහසුවෙන් මෙන්ම ආරක්ෂාකාරීවද හැරවිය හැකි රථයකි. එබැවින් නරි ලකුණ බිට්ල් රියට කදිමට ගැළපේ.
වොක්ස්වැගන් රිය ලංකාවේ ඇතැමුන් ෆොක්ස්වැගන් ලෙස හඳුන්වන්නට හේතුව හුදු උච්චාරණ අඩුපාඩුවක්ම නොවන බව නරි සලකුණෙන් වටහා ගත හැක. කෙසේ වෙතත් වර්තමානයේ නරියා බැජ් එක සහිත වොක්ස්වැගනයක් සොයා ගැනීම අතිශය දුර්ලභ සාධකයකි.
වොක්ස්වැගන් රිය මෙරටට හඳුන්වා දුන් සමයේ ධාවනය කරන අතරතුර රථයක් පෙරළන්නැයි අභියෝගයක්ද වූ පැරැන්නෝ පවසති.
පිටුපස එන්ජිම සහිත මෝටර් රථ අතරින් ලෝකයේ වැඩිම ජනප්‍රියතාවක් අදටත් ඇත්තේ බිට්ල් රියටයි. එහෙත් ශ්‍රී ලංකාවේ එම බිට්ල් රථ හඳුන්වා දුන් මුල් අවධියේ පිටුපස එන්ජිම පිළිබඳව ගෙතුණ උපහාසාත්මක රසකතා රැසක් මෝටර් රථලෝලීන් අතර අදටත් භාවිතාවේ. ඉන් එක කතාවකට අනුව අලුතින් මිලට ගත් වොක්ස්වැගන් රියක් පණ ගන්වා ගත නොහැකි වූ ග්‍රාමීය ප්‍රභූවරයකු එහි බොනට්ටුව යැයි කියා ඩිකිය (ඉදිරිපස) විවෘත කර එන්ජිමක් නැති බව දැක කලබල වූ බව කියවේ.
තවත් කතාවකට අනුව සැකකටයුතු බිට්ල් රියක් අතරමගදී පරීක්ෂාවකට නතර කළ ‍පොලිස් නිලධාරියෙකු ඩිකිය අරිනා ලෙස උපදෙස් දී තිබේ. රියැදුරු ඉදිරිපස කුටිය විවෘත කරන්නට යනවිට ‍පොලිස් නිලධාරියා රථයේ පිටුපස විවෘත කර බලා එහි ඇති එන්ජිම දැක එන්ජිමක් හොරෙන් ගෙන යනවා යැයි රියැදුරු අත්අඩංගුවට ගත් බව කියවේ.
ලෝකයේ විවිධ රටවල වොක්ස්වැගන් බිට්ල් රිය විවිධ නම්වලින් හඳුන්වයි. ජර්මනියේ kafer ලෙසින්ද ‍පෝලන්තයේ carbus ලෙසින්ද හඳුන්වන බිට්ල් රිය ඇමෙරිකාවේ හඳුන්වනුයේ bug  නමිනි. (මීට හේතුව 1970 දශකයේ නිපදවූ love bug චිත්‍රපටයට බිට්ල් රියක් ඇතුළත් වීම විය හැක.) ශ්‍රී ලංකාවේ බිට්ල් රථ විවිධ නම්වලින් හැඳින්වෙයි. 1200 මාදිලියේ රථවල බෆර් එක වැටක් ලෙස සැකසීම නිසා එම මාදිලිය වැට බෆර් ලෙස හඳුන්වයි. 1302 සහ ඒ අවට රථ කනේ මයිල් ලෙස හඳුන්වන අතර ඊට හේතුව එහි පිටුපස වීදුරුවල ඉහළින් ඇති වා කවුළුව කන් පෙත්තක ඇති රෝම ලෙස පෙනීම විය හැක.
වොක්ස්වැගන් රියේ ඉදිරිපස පෙනුම කාන්තාවකගේ යුනීක අස්ථියට සමාන බවත් හිට්ලර්ගේ ස්ත්‍රී ලෝලිත්වය නිසා රථය සැලසුම් කළ අය එවැනි හැඩයක් එක්කර ඇති බවත් ඇතැම්හු පවසති. එහෙත් මේ හැඩයේ ඇත්තේ සුළං කපා යාමේ වාසිය පමණක් බව පවසන මෝටර් රථ ලෝලීහු හිට්ලර් අපවාදයකින් නිදහස් කරති.
වොක්ස්වැගන් රිය නිපදවීමට හිට්ලර් ලබා දුන් මූලික සීමාවන් වූයේ වේගය පැයට සැතපුම් 62ක් වන පැට්‍රල් ගැලුමකින් සැතපුම් 42 ධාවනය විය හැකි 5 දෙනකුට ඉඩකඩ සහිත රියක් නිපදවීමය. ඒ සියලු සීමාවන් සපුරාලමින් මාස 10 තුළ බිට්ල් රිය නිපදවන්නට Ferdinand porsche ප්‍රමුඛ කණ්ඩායම සමත් විය. 1938 වසරේ ලොව පළමු බිට්ල් රිය නිපදවූ අතර 2003 බ්‍රසීලයේදී එහි නිෂ්පාදන නිම කරන විට බිට්ල් රථ 21,529,464ක් නිපදවා තිබුණි. බ්‍රසීලය, ජර්මනිය, පසු වැඩිම බිට්ල් රථ ප්‍රමාණයක් නිපදවූ රට වන බව වාර්තා වේ.
වොක්ස්වැගන් රියට ඇතැමුන් ‘වැගන්’ එක ලෙස පවසන මුත් එය නිවැරදි නොවේ. බ්‍රිතාන්‍යයට මොරිස් මයිනර් රිය මෙන් ජර්මනියට වොක්ස් වැගන් රිය සුවිශේෂී එකකි.
හිට්ලර් ජර්මන් ජනයා වෙනුවෙන් සැලසුම් කළ වොක්ස්වැගන් රථය එරට හෝ ලොව වෙනත් රටක දේශපාලන වේදිකාවේ සාකච්ඡා වන කරුණක් වූයේ නැත. එහෙත් පසුගිය මහ මැතිවරණයේදී වොක්ස්වැගන් රිය ශ්‍රී ලංකාවේ දේශපාලන වේදිකාවල නිතර කියවෙන්නට විය. ඒ ශ්‍රී ලංකාවේ වොක්ස්වැගන් කම්හලක් ආරම්භ කර රැකියා දහස් ගණනක් ලබා දෙන බවට වූ දේශපාලන ‍පොරොන්දු නිසාය.
නිෂ්පාදනය කරන ලද රටේ පවා දේශපාලන මාතෘකාවක් නොවූ බිට්ල් රිය ශ්‍රී ලංකාවේ දේශපාලන මාතෘකාවක් වීමද අපූරු අත්දැකීමකි.


(නරියා බැජ්)






අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *