අපිට වැදි බණ කියන මහින්ද

මහින්ද රාජපක්ෂ සමයේ ආයතන ගණනාවක් විකුණා ඇති බවත්, එසේ සිදුකර දැන් එතුමා විසින් වැදි බණ දේශනාකරණ බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

එබැවින් මහින්ද රාජපක්ෂ මහතා තර්ක කිරීමට එන්නේ එවැනි ක්‍රියා සිදු කර බවත්, හන්දි ගානේ නොකියා කෙලින් කතා කරනැයි තමන් එතුමාගෙන් ඉල්ලා සිටින බවත් ඒ මහතා සඳහන් කර සිටියේය.

ඔහු මේ බව පැවසුවේ (05) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

“වරාය පටන් ගත්තට අවුරුදු ගානෙ අදියර වශයෙන් ගෙවන්න වෙලා තියෙනවා. මිනිස්සු අයින් කරන එක ගැන ඒ අය අපිට චෝදනා කරනවා. ඒ අය සූරියවැව ක්‍රීඩාංගනය හදද්දි මිනිස්සු අයින් කළා. හම්බන්තොට වරාය හදද්දි අයින් කළා. ඒත් ඒ දේවල්වලින් අද මොකක්ද සිද්ධ වෙලා තියෙන්නෙ. අපි තවත් බදු එකතු කර කර ණය ගෙවගෙවා ඉන්නවද එහෙම නැත්තම් ජනතාවට මේ වාසිය දෙනවද කියලා හිතලා තමා මේ තීරණයට ආවෙ.

2018දී මිලියන 10656ක් වරායේ විතරක් ණය ගෙවන්න වෙලා තියෙනවා. සූරිය වැව ක්‍රීඩාංගණයේත් තව ණය ගෙවලා නෑ. පාරවල් වුණත් එදා හැදුවට වඩා අඩු වියදමකින් තමා අපි හදන්නෙ. ආර්ථීකය තිබ්බට වඩා දැනට මිලියන 160ක ලාභයක් තියෙනවා. ඒ වගේම සියයට 30කින් ආදායම වැඩිවෙලා තියෙනවා.

මහින්දානන්ද වගේ අල්ලස් නඩු තියෙන අය තමා අපිට ඇඟිල්ල දික් කරන්නෙ. ආයතන කීයක් ඒ අය විකුණලා තියෙනවද? මේවා ගැන අපි ඒ කාලෙ නිශ්ශබ්දව හිටියා. දැන් මහින්ද අපිට වැදි බණ කියන්න එනවා. තර්ක කරන්න එන්නෙ මහින්ද ඕවා කරලා තමයි. හන්දි ගානෙ කියවන්නෙ නැතුව කෙලින් කතා කරන්න එන්න කියලා අපි කියනවා. “

එම අවස්ථාවට සහභාගි වූ සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා මෙසේ ප්‍රකාශ කර සිටියේය,

“විපක්ෂය අසත්‍ය ප්‍රකාශ කරනවා.  වරායට බිලියන 3.2ක් වියදම් වෙලා තියෙනවා.  ඒක ගෙවීම රජයට ලොකු බරක්. ඒ නිසා ආණ්ඩුවක් විදිහට විකල්පයක් අවශ්‍ය නිසා තමා චීන රජයත් එක්ක කථා කරලා මේ වගේ ව්‍යාපෘතියකට එළඹුණේ. කැබිනට් මණ්ඩලයට දාලා අනුමත වුණාම ගිවිසුමක් අත්සන් කළා. තව අත්සන් කරන්න ගිවිසුම් 3ක් තියෙනවා. ඉදිරි සති දෙක තුන ඇතුළත සාකච්ඡා අවසන් කරලා ඒ වැඩ අත්සන් කරනවා.

මේක අධීක්ෂණය කරන්න ඊයේ කැබිනට් මණ්ඩලේදී මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත අධීක්ෂණ කමිටුවක් පත් කළා. සරත් අමුණුගම තමා ඒකෙ සභාපති.  දැනට ඒ ගිවිසුම් සම්බන්ධව කමිටුව ඇතුළේ සාකච්ඡා කරගෙන යනවා. චීන රජයත් එක්ක තවත් සාකච්ඡාවක් යනවා කර්මාන්ත පුරය ඇති කරන එක සම්බන්ධයෙන්.  හම්බන්තොට විතරක් නෙමෙයි මේකට ගන්නෙ. මොණරාගල ඇතුළු තවත් ප්‍රදේශත් ගන්නවා.

මේකෙදි ඉඩම් බලෙන් ගන්නවා කියලා චෝදනාවක් තියෙනවා. ඒත් කිසිම ඉඩමක් බලෙන් ගන්නෙ නෑ. පෞද්ගලික ඉඩම් අපි ගන්න ඉන්න ප්‍රමාණයෙන් සියයට පහක් විතර තමා මේකට ඕනෙ වෙන්නෙ. ඒකත් වන්දි දීලා සාකච්ඡා කරලා වන්දි දීලා තමයි ගන්නෙ.“