තැපැල් දුම්රියේ බෝම්බ කතාව පෙම්වතාගේ විනෝද චාරිකාව නතර කරන්න කී බොරුවක්

බදුල්ල බලා යන රාත්‍රි තැපැල් දුම්රියේ බෝම්බයක්‌ තිබෙන බවට පොලිසිය වෙත අසත්‍ය තොරතුරක්‌ ලබා දීමේ චෝදනාව මත කොටුව පොලිසිය මගින් අත්අඩංගුවට ගත් දහඅට හැවිරිදි පාසල් ශිෂ්‍යාව රුපියල් ලක්‍ෂ දෙකක ශරීර ඇප මත මුදා හරින ලෙස කොටුව මහෙස්‌ත්‍රාත් ලංකා ජයරත්න ඊයේ (04 වැනිදා) නියෝග කළාය.

මෙහිදී මහෙස්‌ත්‍රාත්වරිය මෙම පාසල් ශිෂ්‍යාවට දැඩි ලෙස අවවාද කළ අතර ඇගේ දෙමාපියන්ට ද තම දියණිය කෙරෙහි මීට වඩා අවධානයකින් සිටින ලෙස අවවාද කර තිබේ.

මෙම පාසල් ශිෂ්‍යාවගේ පෙම්වතා මිතුරන් පිරිසක්‌ සමඟ ඉකුත් 26 වැනිදා බදුල්ල බලා යන රාත්‍රි තැපැල් දුම්රියෙන් හැටන් ප්‍රදේශයේ චාරිකාවක්‌ යැමට සූදානම් කරගෙන සිට ඇත. මෙම චාරිකාව යැමට පාසල් ශිෂ්‍යාව කැමැත්ත පළ කර නැත.

පාසල් ශිෂ්‍යාව තම පෙම්වතාගේ විනෝද චාරිකාව නතර කිරීමේ අරමුණෙන් ඔහු මිතුරන් සමඟ හැටන් බලා ගමන් ගැනීමට නියමිතව තිබූ තැපැල් දුම්රියේ බෝම්බයක්‌ තිබෙන බවට පොලිසියට දැනුම් දීමක්‌ කර තිබූ බව පරීක්‍ෂණවලින් හෙළි වී තිබේ.

පාසල් ශිෂ්‍යාව 119 හදිසි ඇමතුම් ඒකකය වෙත ඇමතුමක්‌ ලබා දී පවසා ඇත්තේ තමන් බදුල්ල බලා යන රාත්‍රි තැපැල් දුම්රියේ ගමන් කරන තරුණියක්‌ බවත්, තමන් අසල සිටි පුද්ගලයකු වෙනත් අයකු සමඟ දුරකථනයෙන් කතා කර බදුල්ල දුම්රියේ බෝම්බයක්‌ සවිකළ බව පැවසූ බව තමන්ට ඇසුණු බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *