ඩොලරුත් හිඟයි; රුපියලත් අමාරුවේ

ශ්‍රී ලංකාව මුහුණදී සිටින ආර්ථික අර්බුදයේ ප්‍රධාන පැතිකඩක්‌ වන්නේ විදේශ විනිමය අර්බුදයයි. එනම් කලක්‌ තිස්‌සේ අපේ විදේශ විනිමය වියදම්වලට සාපේක්‍ෂව විදේශ විනිමය ඉපැයුම් ප්‍රමාණවත් නොවීම නිසා දිගින් දිගටම රුපියලේ බාහිර අගය රැක ගැනීම සඳහා විශාල පීඩනයකට මුහුණ දෙන්නට සිදුව තිබීමයි. පවතින විදේශ සංචිත මට්‌ටම ද රැක ගනිමින් රුපියලේ අගය රැක ගැනීම විශාල අභියෝගයක්‌ වී තිබේ. ප්‍රමාණවත් ලෙස රටේ විදේශ විනිමය ඉපැයුම් වර්ධනය නොවන තත්ත්වයකදී රුපියලේ අගය පිරිහීමට ලක්‌වන අතර එය රැක ගැනීමට මහ බැංකුව විසින් නොයෙක්‌ විට දේශීය විදේශ විනිමය වෙළෙඳපොළේදී අමෙරිකානු ඩොලර් විකිණීමද සිදු කරනු ලබයි. මහ බැංකුව තමන් සතු ඩොලර් විකුණා රුපියල ස්‌ථාවර කිරීමේදී අපේ විදේශ සංචිතයද දියවීමට ලක්‌වෙයි. මේ නිසා තරමක්‌ දුරට රුපියලේ මස්‌තබාල්දුව වසං කර ගැනීමට හැකි වුවත් මෙවැනි අතිශය විනිමය අර්බුදකාරී තත්ත්වයකදී මහ බැංකුවේ එම පිළිවෙත අතීසාරයට අමුඩ ගසන්නාක්‌ වැනි අසාර්ථක ප්‍රයත්නයක්‌ වී තිබේ. මහ බැංකුව නිකුත් කරන නිල විනිමය අනුපාත අගය අනුව මේ වන විට ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රු. 150 ද පසුකරගෙන ගොස්‌ රු. 151 ට ආසන්න වී තිබෙන්නේ සහ එම අගයට පවා ඩොලර් මිලදී ගැනීමට නොහැකිව අද වන විට ඇමෙරිකානු ඩොලරයක්‌ වෙළෙඳපොළේ විකිණෙන සැබෑ හුවමාරු අගය රු. 153 ද ඉක්‌මවා ගොස්‌ ඇත්තේ ද මේ නිසාය. මෙසේ අප මුහුණදී සිටින විදේශ විනියම අර්බුදයේ පසුබිම හා එහි බලපෑම් ගැන අපි මේ ලිපියෙන් සාකච්ඡා කරමු.

විදේශ විනිමය අර්බුදය උග්‍රවීම නිසා විදේශ විනිමය වෙළෙඳපොළේ ඇති ඇමෙරිකානු ඩොලර් හිඟයට අමතරව වාණිජ බැංකුවලද මේ දිනවල විශාල ඩොලර් හිඟයක්‌ ඇතිව තිබෙන බවද බැංකු ආරංචි මාර්ගවලින් දැනගන්නට තිබේ. මේ නිසා විදේශගත වන අයට තමන්ට හිමි විදේශ විනිමය ප්‍රමාණය පවා තම විදේශ ගමන් බලපත්‍රය ඉදිරිපත් කර බැංකුවලින් ලබාගත නොහැකි තත්ත්වයක්‌ මේ දිනවල ඇතිවී තිබේ. මෙසේ ළඟදී විදේශ මුදල් ලබා ගැනීමට අවශ්‍ය වූ අයෙකුට තමන්ට හිමි විදේශ මුදල් ප්‍රමාණය ලබා ගැනීමට බැංකු කිහිපයකම රස්‌තියාදු වීමට සිදුව තිබිණි. පසුව වෙනත් අනුමත විදේශ විනිමය හුවමාරු මධ්‍යස්‌ථානයකට ගොස්‌ අදාළ ඇමරිකානු ඩොලර් ප්‍රමාණය ලබා ගැනීමට ඔහුට සිදු වී තිබේ. එහිදී ඇමෙරිකානු ඩොලරයක්‌ වෙනුවෙන් රු. 153.70 ක මුදලක්‌ ඔහුගෙන් අයකර තිබේ. කොළඹ කලු කඩයේ ඇමෙරිකානු ඩොලරයක්‌ විකිණෙන්නේ රු. 154 ට වැඩි මුදලකට බව ද වාර්තා වේ. මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරන නිල විනිමය අනුපාතයට වඩා ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල ඉහළ අගයක්‌ ගන්නා අතර මහ බැංකුව කියන හුවමාරු අනුපාතයට ගැනීමට වාණිජ බැංකුවල ප්‍රමාණවත් ඇමෙරිකානු ඩොලර් නොමැති තත්ත්වයක්‌ද තිබේ. මේ නිසා විදේශ ගමන් යන අයට විශාල අපහසුතාවකට මුහුණ දීමට සිදුව තිබෙන අතර මේ නිසා ඔවුන්ට අධික මිලට ඩොලර් මිලදී ගැනීමට සිදුව තිබෙන බවද ඔවුහු කියති. ඒ නිසා පසුගිය මහින්ද රාජපක්‍ෂ රජය කාලයේ සිටම අපේ රටේ විදේශ විනිමය අර්බුදයක්‌ තිබුණත් මේ වන විට එය බෙහෙවින් උග්‍ර අතට හැරී තිබේ.

කලක්‌ තිස්‌සේ පැවති විදේශ විනිමය අර්බුදය 2015 වසරේ සිට තවත් උග්‍ර වන්නට පටන් ගත්තේය. ඒ නිසා මේ වසරේ (2016) මේ තත්ත්වයට පෙර, 2015 වසරේ සිදු වූ දේ අපි මුලින්ම සාකච්ඡා කරමු. 2014 වසර අග දී ඇමෙරිකානු ඩොලරයක අගය පැවැතියේ රුපියල් 131.05 ක මට්‌ටමේ ය. එය 2015 වසර අග වන විට රු. 144.06 දක්‌වා සියයට 9.03 කින් සැලකිය යුතු= පිරිහීමකට ලක්‌විය. එසේම ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව රුපියලෙහි සාමාන්‍ය විනිමය අනුපාතය ද 2014 දී වූ රු. 130.56 සිට 2015 වසරේ දී රු. 135.94 දක්‌වා පිරිහී තිබේ. මේ පිරිහීම වඩාත්ම තීව්‍ර වූයේ ගිය වසරේ (2015) පළමු මාස අටෙන් පසුවය. ඊට හේතුව වූයේ විදේශ විනිමය අනුපාතයට නිදහසේ තීරණය වීමට ඉඩ හැරීමට එවකට මහ බැංකුව ගත් තීරණයක්‌ නිසාය.

රුපියල පිsරිහීමට 2015 වසරේදී අපට බලපෑ ප්‍රධාන හේතු සාධක ලෙස ඇමරිකානු එක්‌සත් ජනපදයේ පොලී අනුපාතිකය ඉහළ යනු ඇතැයි වූ අපේක්‍ෂාව සහ ඉන් අනතුරුව පොලී අනුපාතික ඉහළ යැම හමුවේ රජයේ රුපියල් සුරැකුම්පත් වෙළෙඳපොළ වෙතින් විදේශීය ආයෝජන ඉවත් කර ගැනීම, ඉන්ධන නොවන ආනයන වියදම ඉහළ යැම සහ විදේශීය ණය සේවාකරණ ගෙවීම් හමුවේ විදේශ විනිමය සඳහා වූ ඉල්ලුම ඉහළ යන කරුණු මූලිකවම හේතු විය. මෙසේ අපේ විනිමය අනුපාතය මත සැලකිය යුතු පීඩනයක්‌ ඇති වී රුපියල මස්‌ත බාල්දු වීමට හේතු වූ ඉහත සාධක තවදුරටත් අඩු වැඩි වශයෙන් මේ වසරේ (2016) දී ද විනිමය අනුපාතයට බලපෑම් කර තිබේ. මේ වසරේදී ද රුපියල තවදුරටත් මස්‌ත බාල්දු වී ඇමෙරිකානු ඩොලරයට රු.150 ට ද වැඩි මුදලක්‌ ගෙවීමට සිදුව ඇත්තේ මේ නිසාය.

ගිය වසරේ (2015) දී ශ්‍රී ලංකා රුපයලේ අගය රැක ගැනීම සඳහා අඛණ්‌ඩව ඇති වූ පීඩනය නිසා දේශීය විදේශ විනිමය වෙළෙඳපොළේ විචලනයන් (විනිමය අගය අඩු සහ වැඩිවීම්) නිරන්තරයෙන් ම ඇති වූ අතර මේ නිසා මහ බැංකුවට තමන් සතු ඩොලර් දේශීය විදේශීය විනිමය වෙළෙඳපොළේ විකිණීමට ද සිදුවිය. මහ බැංකුව මෙසේ රුපියල ස්‌ථාවර කිරීම සඳහා ඩොලර් විකුණමින් මැදිහත් වූයේ 2015 වසරේ මුල් මාස අටේදීය. ඒ අනුව මහ බැංකුව ශුද්ධ වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 1.9 ක්‌ දේශීය විදේශ විනිමය වෙළෙඳපොළට සපයනු ලැබුවේය. මේ නිසා 2015 වසරේ මුල් මාස අටේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව රුපියල පිරිහීමට ලක්‌ වූයේ සියයට 2.42 ක්‌ වැනි සුළු ප්‍රමාණයකිනි. එහෙත් 2015 සැප්තැම්බර් 03 වැනි දින, විදේශ විනිමය වෙළෙඳපොළට මැදිහත් වීම සීමා කිරීමට මහ බැංකුව තීරණය කළේය. එනම් විනිමය අනුපාතයට නිදහසේ තීරණය වීමට ඉඩ හරින ලදී. මෙහි ප්‍රතිඵලය වූයේ එම තීරණය ගත් දිනට පසු දින (2015 සැප් 04) සිට 2015 වසර අග දක්‌වා කාලයේදී රුපියල වේගයෙන් පිරිහීමට ලක්‌ වීමයි. මේ අනුව 2015 වසරේ මුල් මාස අටේදී සියයට 2.42 කින් පමණක්‌ පිරිහුණු රුපියල සමස්‌තයක්‌ ලෙස 2015 වසරේදී සියයට 9.03 කින් පිරිහී ඇමරිකානු ඩොලරයක අගය රු. 144.06 දක්‌වා ඉහළ ගියේය.

මේ වසරේ (2016) දී ද ගිය වසරේ මෙන්ම ඇමරිකානු ඩොලර් ආදායම් සීමා වීම නිසා, 2015 වසර සිට ඉකුත් නොවැම්බර් 28 දින දක්‌වා කාලයේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 2.6 කින් පිරිහීමට ලක්‌විය.

මේ තරමින් හෝ රුපියල අඩුවෙන් මස්‌ත බාල්දු වූයේ මේ වසරේ (2016) දී නැවතත් රුපියල රැක ගැනීම සඳහා මහ බැංකුව විදේශ විනිමය වෙළෙඳපොළේ ඩොලර් විකුණන්නට පටන් ගත් නිසා ය. ඒ නිසා ගිය වසරේ ගත් තීරණයට එරෙහිව විනිමය අනුපාතයට නිදහසේ තීරණය වීමට ඉඩ නොදී මහ බැංකුව විසින් විනිමය වෙළෙඳපොළට මැදිහත් වූ අතර එසේ නොකළේ නම් ඇමෙරිකානු ඩොලරයක රුපියල් අගය පවතිනු ඇත්තේ මීට වඩා බොහෝ ඉහළ අගයකය. මේ අනුව මහ බැංකුව මේ වසරේ (2016) සැප්තැම්බර් මස අග දක්‌වා කාලය තුළ ශුද්ධ වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 693 ක්‌ දේශීය විනිමය වෙළෙඳපොළට සපයා තිබේ.

මේ වසරේ (2016) මුළු රාජ්‍ය ණය ප්‍රමාණය 2015 වසර අගදී පැවැති රු. බිලියන 8503.2 සිට පසුගිය ජූලි මස අග වන විට රුපියල් බිලියන 9382 ක්‌ දක්‌වා රු. බිලියන 878.7 කින් (රු. කෝටි 87870 කින්) වැඩි වී තිබේ. ණය වර්ධනයට එක්‌ ප්‍රධාන හේතුවක්‌ වී ඇත්තේද රුපියල පිරිහීමයි. ඒ අනුව මේ වසරේ (2016) පළමු මාස හත තුළදී විනිමය අනුපාතික වෙනස්‌ වීම නිසා පමණක්‌ රජයේ මුළු ණය ප්‍රමාණය රු. බිලියන 141.7 (රු. කෝටි 14170) කින් ඉහළ ගොස්‌ තිබේ. මීට ප්‍රධාන හේතුව රුපියල අනෙකුත් ප්‍රධාන විදේශ ව්‍යවහාර මුදල් වර්ගවලට සාපේක්‍ෂව අවප්‍රමාණය වීමයි. එනම් රුපියලේ අගය අඩු වීමයි.

මෙසේ රුපියල පිරිහීම නිසා ශ්‍රී ලංකාවට ආනයනය කරන සියලු භාණ්‌ඩ හා සේවා වල මිල ඉහළ යයි. විදේශ ණය පැටව් ගසයි. එසේම රුපියල පිරිහීම නිසා ගිය වසරේ (2015) පමණක්‌ සමස්‌ත රාජ්‍ය ණය ප්‍රමාණය රු. කෝටි 28500 කින් ඉහළ ගියේය. අනිත් අතට රුපියල රැක ගැනීමට මහ බැංකුව විසින් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළේ ඩොලර් විකිණීම නිසා දිගින් දිගටම අපේ නිල සංචිතය ද දියවෙමින් තිබේ. 2014 වසර අගදී පැවැති අපේ දළ නිල සංචිත වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 8.2 ක්‌ විය. එහෙත් එය 2015 වසර අග වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 7.3 ක්‌ දක්‌වා පහත වැටිණි. එසේම මේ වසරේ (2016) පසුගිය අගෝස්‌තු මාසය අග වන විට අපේ දළ නිල සංචිත ප්‍රමාණය ආනයනික මාස 4.2 කට සමාන වන පරිදි ඇමෙරිකානු ඩොලර්Êබිලියන 6.6 දක්‌වා තවදුරටත් පහත වැටී ඇත. මේ නිසා විදේශ සංචිතයේ ඩොලර් විකුණමින් රුපියල රැක ගැනීම දිගටම කළ හැකි දෙයක්‌ නොවේ. විදේශ විනිමය වෙළෙඳපොළේ ඇති වන හදිසි උච්චාවචන සමනය කර ගැනීමට මහ බැංකුව මැදිහත් විය යුතු වුවත්, මේ ආකාරයට ඩොලර් විකුණමින් රුපියල රැක ගන්නා විට විදේශ සංචිතය දිගින් දිගටම දිය වී අපේ ආනයන හැකියාව අඩු වී ආර්ථිකය අවදානම් තත්ත්වයකට පත්වෙයි. මේ නිසා අපේ විනිමය ආදායම් ඉහළ නංවා ගැනීමකින් තොරව අපේ විදේශ විනිමය අර්බුදයට දිගු කාලීන තිරසාර විසඳුමක්‌ නැත. ඒ සඳහා ප්‍රධාන මාර්ග දෙකක්‌ වන්නේ අපනයන ආදායම වර්ධනය කරගැනීම සහ සංචාරක ඉපයුම් වර්ධනය කරගැනීමයි. සංචාරක සංවර්ධන ඇමැති ජෝන් අමරතුංග මහතා නම් කියන්නේ වර්ෂ 2020 වන විට අපේ සංචාරක කර්මාන්තය අංක එකේ විදේශ විනිමය උපයන්නා බවට පත්කරන බවයි. යුද ජයග්‍රහණයට පින්සිදුවන්නට අපේ සංචාරක පැමිණීම් කොහොමත් වර්ධනය වෙමින් තිබේ. එහෙත් එම ප්‍රවණතාව දිගටම පවත්වා ගැනීමට සහ සංචාරක ඉපැයුම් උපරිම කරගැනීමට මීට වඩා වැඩි අවධානයක්‌ සහ පරිශ්‍රමයක්‌ සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් දැරිය යුතු බව අපගේ අදහසයි. ඒ අතරම අපනයන ආදායම් වර්ධනය කරගැනීමට ද ඉතා පුළුල් මෙහෙයුමක්‌ අවශ්‍යමය. එහෙත් තවමත් මේ අංශ දෙක වෙනුනේ මෙවැනි වැඩපිළිවෙළක්‌ මේ රජය යටතේ ද දක්‌නට නොලැබීම නම් කනගාටුවට කරුණකි.