එළිසබෙත් මහ රැජනගේ ලංකාවේ යාළුවා

කුරුණෑගල වැහැර පදිංචි දිමුතු ගයාන් විමලරත්න සහ බ්‍රිතාන්‍ය බකිංහැම් මාලිගයේ පදිංචි එළිසබෙත් මහ රැජනත් අතර ඇති හිතවත්කමට මේ වන විට වසර 20 ක්‌ සම්පූර්ණ වී අවසන්ය. ඉකුත් අප්‍රේල් 21 වැනි දින එළිසබෙත් මහ රැජනගේ 90 වැනි උපන් දිනය යෙදී තිබීමත් දිමුතු සහ මහ රැජන අතර ගොඩනැඟී ඇති හිතවත්කමට වසර 20 ක්‌ සම්පූර්ණවීමත් නිමිත්තෙන් දිමුතු විසින්ම නිර්මාණය කරන ලද උපන් දින සුබ පැතුමක්‌ ගුවන් මඟින් බ්‍රිතාන්‍යයට යවන අතර එයට ප්‍රණාමය පුද කරනු පිණිස බකිංහැම් මාලිගයෙන් දිමුතු වෙත පෙරලා ප්‍රණාම ලිපියක්‌ ලැබෙන්නේය.

“රාජකීය මුද්‍රdව” සහිතව “රාජකීය තැපෑලෙන්” දිමුතු වෙත ලැබෙන්නට සලස්‌වන එම ප්‍රණාම ලිපිය සුවිශේෂී බවක්‌ ගන්නේ බ්‍රිතාන්‍ය රජ පවුල විසින් “රාජකීය මුද්‍රdව” සහ “රාජකීය තැපෑල” භාවිත කරනු ලබන්නේ රාජකීයන් සහ රාජ්‍ය නායකයන් අතර පමණක්‌ වන ලිපි ගනුදෙනු සඳහා පමණක්‌ වීම හේතුවෙන්ය.

මේ කියන ලිපි ගනුදෙනුව බ්‍රිතාන්‍ය රජ පවුල සහ දිමුතු ගයාන් විමලරත්න අතර ඇති සමීප බැඳීම පිළිබඳ ඉතිහාස කතන්දරය වසර 20 ක්‌ ඈතට දිවයන්නක්‌ බැවින් එය නිවැරැදිව පැවසීමට වඩාත් සුදුසු පුද්ගලයා වන්නේත් දිමුතුමය.

මුහුදු හතකින් එපිට ලන්ඩනයේ ජීවත් වන බ්‍රිතාන්‍ය රජ පවුලත් කුරුණෑගල ප්‍රදේශයේ සාමාන්‍ය පවුලක උපන් දිමුතු ගයාන් විමලරත්නත් අතර හටගෙන ඇති මෙම සමීප බැඳීම දිමුතු විසින් විශ්වාස කරනු ලබන්නේ සංසාරගත බැඳීමක්‌ සේය. ඔහුට අනුව මහ රැජන සහ රජ පවුල සමඟ දිමුතුගේ හිතවත්කම ලියලා වැඩෙන්නේ පහත සඳහන් ආකාරයටය.

1983 වර්ෂයේදී දෙවැනි වරට බ්‍රිතාන්‍ය මහ රැජන ලංකාවට සැපත් වෙද්දී මම පාසල් ශිෂ්‍යයෙක්‌. ඉගෙන ගත්තෙ 3 වසරේ. එදා මහ රැජනගේ ලංකා ගමන සිහිපත් වෙන්න පේරාදෙණියේ මල්වත්තේ ශාකයක්‌ රෝපණය කිරීමේ උත්සවයක්‌ තිබුණා. මම ඉගෙන ගත්තෙත් පේරාදෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ. නුවර සියලුම පාසල්වලට නිවාඩු දිනයක්‌. හැබැයි එදා නුවර පළාතේ සියලුම පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මහ රැජනියව දැක ගැනීමේ අවස්‌ථාව උදාවෙනව. අපිට තිබුණේ මහ රැජන පේරාදෙණියෙ මල් වත්තේ ශාකය රෝපණය කරල ආපසු යනකොට මඟ දෙපස ඉඳගෙන ඇයට ආචාර සමාචාර කරන එක. හැම ළමයෙක්‌ අතේම ජාතික කොඩියත් බ්‍රිතාන්‍ය කොඩියත් තිබුණ, මහ රැජන එදා පේරාදෙණියෙ ඉඳල බ්‍රිතාන්‍යයෙන් ගෙන්වන ලද වාහනයක නැගල තමයි පැණිදෙනියෙ ස්‌ටේෂම වෙත ගමන් කෙරුවෙ. ඔය වෙද්දී කොළඹ ඉඳල විශේෂ දුම්රිය දෙකක්‌ පැණිදෙනියට ගෙන්වල තිබුණ. ඇය නැවත කොළඹට ගියේ එහෙම ගෙන්වන ලද දුම්රියකින්. ඉතින් එදා ඇය විවෘත රියක නැගල පැණිදෙනියට එන අතරමගදී තමයි මම ජීවිතයේ පළමු වතාවට එතුමියව සියෑසින් දැක ගන්නෙ. පුදුම හිතෙන කරුණාවන්ත බවක්‌ ආචාරශීලී සිනහවක්‌ එදා මම ඇය තුළින් දකිනව.

බ්‍රිතාන්‍ය මහ රැජනගේ ‘දසුන’ දිමුතුගේ දැස මත පළමුවරට ගැටී ඇත්තේ ඒ ආකාරයෙන්ය. එතැන් සිට මහ රැජනිය පිළිබඳ මහත් වූ ගෞරවයක්‌ දිමුතුගේ සිත තුළ ලියලන්නට පටන්ගෙන ඇත්තේ ඔහුවත් නොසිතුව ආකාරයකටය. කරුණාවන්ත බව, සිනහවෙන් පිරුණු ආචාරශීලී බව මහ රැජනගේ “ආත්මීය ආභරණ” ලෙස දකින දිමුතුව කාලය විසින් උස්‌ මහත් කරමින් පන්තියෙන් පන්තිය ඉහළට රැගෙන යන්නේත් ඔහු උසස්‌ පෙළ ශිෂ්‍යයෙක්‌ බවට පත්කරන්නේත් කාලයාගේ ඇවෑමත් සමඟින්ය.

“තුන වසර ශිෂ්‍යයෙක්‌ විදියට රැජනව මුලින්ම දැකපු දවසෙ මට හිතුන දෙයක්‌ තමයි මේ වගේ උත්තමාවියක්‌ එක්‌ක මට සමීප ඇසුරක්‌ ගොඩනඟාගන්න පුළුවන්නම් ඒක කොච්චර දෙයක්‌ ද කියන එක. ඒ සිතුවිල්ලම වෙන්න ඇති 1996 පළමුවරට මම රැජනියට ලිපියක්‌ ලියන්න මූලික වෙච්ච හේතුව. පුළුවන් තරම් ලස්‌සන අත් අකුරින් තමයි මම ඒක ලිව්වෙ. පස්‌සෙ බකිංහැම් මාලිගයෙ ලිපිනය හොයාගෙන මම ඒක තැපැල් කරනව. ඒ යවල සති තුනක්‌ ගියේ නෑ මෙන්න මට පිළිතුරු ලිපියක්‌ ලැබෙනව. ඒක දැක්‌කම මට ඇති වුණේ පුදුම සතුටක්‌. එදා මම තීරණයක්‌ ගත්ත දිගටම ලිපි ලියන්න ඕන කියල.”

ඔහොම ලිපි තුන හතරක්‌ හුවමාරු වෙනව. ඒ හැම එකකටම පිළිතුරුත් ලැබෙනව. මෙතනදී මතක්‌ කළ යුතු විශේෂ දෙයක්‌ තියෙනව. ඒක මම දැනගත්තේ ටිකක්‌ පහුවෙලා.

ඒ තමයි මහ රැජනට යවන ලිපි තෑගි භාණ්‌ඩ ඔය හැම එකක්‌ම මහ රැජනට පෙන්නන්න ඕන. ඒක රජ පවුලේ සම්ප්‍රදායක්‌. ඔය අතරේ මම දවසක්‌ තෑග්ගක්‌ යවනව. දේශීය පන් වර්ග උපයෝගී කරල හදපු බෑග් එකක්‌ තමයි තෑග්ග ලෙස යවන්නේ. ටික දවසක්‌ යද්දී රැජනගෙන් පිළිතුරක්‌ ලැබෙනව. ඒකෙ සඳහන් වෙලා තිබුණේ තෑග්ග ලැබුණා. එයට බොහොම ස්‌තුතියි ඒ වෙද්දී ඒක රාජකීය කෞතුකාගාරයේ තැන්පත් කරල තියෙනව කියල. ඔහොම ටික දවසක්‌ ඉන්න අතරේ මට හිතෙනව රජ පවුලේ අනෙක්‌ සාමාජිකයන් සමඟත් හිතවත්කම් ඇතිකර ගත්තොත් හොඳයි කියල. මුලින්ම සුබ පැතුමක්‌ යවන්නෙ විලියම් කුමාරයට ඒකත් මගේ අත් අකුරින් කරපු නිර්මාණයක්‌. ඒකටත් විලියම් කුමාරයගෙන් පිළිතුරක්‌ සහ ඡායාරූපයක්‌ ලැබෙනව. බකිංහැම් පැලස්‌ එකේ නීතියක්‌ තියෙනව රජ පවුලෙ කාගෙහරි ඡායාරූපයක්‌ පිටස්‌තරයකුට යවනව නම් මහ රැජනගේ අවසර ඒ සඳහා හිමිවෙන්න ඕන කියල. අනික තමයි රජ පවුලේ ඡායාරූප වසරකට බොහොම ටිකයි ගන්නෙ. ඒ ගන්නෙත් රාජකීය ඡායාරූප ශිල්පියා විසින් විතරයි. ඔහොම හැරී කුමාරයටත් යවනව පිළිතුරු ලැබෙනව. ඔය අතරේ වරින් වර මහ රැජනට පොඩි පොඩි තෑගි යවන පුරුද්දකුත් කරගෙන යනව. බතික්‌ නිර්මාණ, චිත්‍ර ඇතුළු ඔය පොඩි පොඩි නිර්මාණ තමයි එහෙම යවන්නේ. එහෙම යවපු තෑගි භාණ්‌ඩ හය හතක්‌ විතර තියෙනව.

ඒව තැපෑල මඟින් බකිංහැම් පැලස්‌ එකට ගියහම කාර්ය මණ්‌ඩලයටවත් ඒව විවෘත කිරීම තහනම්. මහ රැජන තමයි ඒව විවෘත කරල බලන්නෙ. දවසක්‌ මම යවපු ලිපියක ඇඳල යවපු රෝස මලකට රැජනියගේ හිත ගිහිල්ල එතුමිය සතුටු වුණා කියල මට දන්වල එවල තිබුණ. මහ රැජන රෝස මල්වලට කැමති බව මම පුද්ගලිකව දන්න කාරණයක්‌. ඔහොම හුවමාරු වෙන ලිපිවල තියෙන විශේෂත්වය තමයි මට ලැබෙන හැම පිළිතුරු ලිපියක්‌ම රාජකීය මුද්‍රdව සහිතව රාජකීය තැපෑලෙන් ලැබීම. ඒක හැමෝටම අත්වන වාසනාවක්‌ නොවෙයි. ඒ බැඳීම් කොච්චර දුරකට ගිහිල්ල ද කියනවනම් මේ වෙද්දි විලියම් කුමාරයගේ දරුවො දෙන්න වන “ජෝර්ඡ්” සහ “එළිසබෙත් ඩයනා” නමටත් සුබ පැතුම් යවල තියෙනව. ඒවටත් බකිංහැම් පැලස්‌ එකෙන් පිළිතුරු ලැබෙනව.

“මම මුලින්ම කිව්වෙ රැජනගේ 90 වැනි උපන් දිනයටත් මම සුබ පැතුමක්‌ යෑව්ව කියල. ඒකට පිළිතුරු ලිපියක්‌ සහ 90 වැනි උපන් දිනය දවසෙ ගත්ත රැජනගේ ඡායාරූපයක්‌ මට එවනව. මම මගේ ලිපිය රැජනට යවන්නේ උපන් දිනේට මාස දෙකකට කලින්. මම එහෙම කරන්නෙ මට ඕන වුණා රැජනගේ 90 වැනි උපන් දිනයට මුළු ලෝකයෙන්ම පළමුවැනියාට සුබ පැතූ පුද්ගලය මම වෙන්න. මොකද රැජනගේ උපන් දිනය වෙනුවෙන් මුළු ලෝකයේ ඉන්න රාජ්‍ය නායකයෝ වෙනත් රටවල ඉන්න රාජකීය පවුල්වල උදවිය සුබ පැතුම් යවන එක පුරුද්දක්‌නෙ. මම රාජකීයෙක්‌ නොවුණට මමත් වසර 20 ක්‌ තිස්‌සෙ ඒ දේ කරනව. එතන තව විශේෂයක්‌ තියෙනව. රැජන ඉපදිල තියෙන්නෙ අප්‍රේල් 20 වුණාට උපන් දිනය සමරු නිල උත්සවය ගන්නෙ සෑම අවුරුද්කම ජුනි 14 වැනිදට. එදිනට තමයි ඇයට ඔටුනු පළඳවපු දවස යෙදිල තියෙන්නෙත්.

මේ වෙද්දි මහ රැජන විදේශීය සංචාරවල යෙදෙන්නෙ නැහැ. ඇගේ සෞඛ්‍ය තත්ත්වය අනුව තමයි ඒ තීරණය අරන් තියෙන්නෙ. දැනුත් මම දිනපතා ඇය පිළිබඳ විමසිලිමත් වෙනව. රජ පවුල සම්බන්ධව පළවන පුවත් මඟින්, විදේශීය මාධ්‍ය මගින් මම ඒ තොරතුරු ලබා ගන්නව. ඉදිරියෙදි මම මහ රැජනගෙන් ඉල්ලීමක්‌ කරනව. මට ඇයව බැහැදකින්න අවස්‌ථාවක්‌ දෙන්න කියල. දැනට මම දන්න ආකාරයට රාජකීයන් රාජ්‍ය නායකයන් හැරුණු කොට මහ රැජනව මුණගැහිල තියෙන්නෙ මලාලා යුසුප් කියන කෙනා විතරයි. එයාට මහ රැජනව මුණගැහෙන්න අවසර ලැබිල තියෙනව. ලෝකයේ රාජ්‍ය නායකයන් 12 දෙනකුට එතුමිය මුණගැහෙන්න තහනම්. විශේෂයෙන් ඇමරිකන් ජනාධිපතිට වුණත් මහ රැජනියව බැහැ දකින්න දීල තියෙන්නෙ විනාඩි 20 ක පමණ කෙටි කාලයක්‌ විතරයි. මම ලොකු උත්සාහයක්‌ දරනව වසර 20 ක්‌ පුරා තිබෙන හිතවත්කම උපයෝගී කරගෙන ජීවිතයේ එක්‌ වතාවක්‌ ඇයව බැහැදැකීමේ අවස්‌ථාවක්‌ උදාකර ගන්න.

බ්‍රිතාන්‍ය රජ පවුල හැරුණු කොට මේ වන විට දිමුතු විසින් විවිධ රටවල රාජ්‍ය නායකයන් ලොව ඉහළ ධනවතුන් ප්‍රභූවරුන් සමඟ පෑනේ මිතුරුකම් ඇතිකරගෙන තිබෙන අතර ලොව විවිධ රාජ්‍ය නායකයන් සමඟ පමණක්‌ දිමුතු විසින් මේ වන විට හුවමාරු කරගෙන ඇති ලිපි සංඛ්‍යාව හැටකට අධිකය. ඊට අමතරව නෙදර්ලන්ත, බෙල්ජියම, ස්‌පාඤ්ඤය, ස්‌වීඩනය ආදී රටවල වෙසෙන රාජකීයන් බොහෝ දෙනෙක්‌ දිමුතුගේ රාජකීය හිතවතුන්ය. ඔවුන්ගේ නිල අත්සන සහිත ඡායාරූප එකතුවක්‌ද දිමුතු සතුව ඇත. ඔවුන් සමග කරන ලිපි ගනුදෙනුවලදී ඉතාමත් කෙටි සරල ලිපි ලිවීම දිමුතුගේ ක්‍රමය වී ඇති අතර එයට ලැබෙන ප්‍රතිචාරවල සඳහන්ව ඇත්තෙත් ඒ ආකාරයෙන්මය.

ජී. 7 සමුළුව නියෝජනය කරන සියලු රටවල රාජ්‍ය නායකයන් ඉන්දීය අගමැති ඊශ්‍රායෙල් අගමැති සමග ද පයුරුපාසානම් පවත්වන්නට සමත්කම් දක්‌වා ඇති ඉසුරු ඔවුන් සමඟ කර ඇති පළමු ලිපි ගනුදෙනුවේදී එක්‌ උපක්‍රමයක්‌ යොදාගෙන ඇත. ඒ සෑම ලිපියක්‌ සමඟම මහ රැජන විසින් දිමුතු වෙත එවා ඇති ලිපියක ඡායා පිටපතක්‌ යෑවීම එම උපක්‍රමය වී ඇති අතර ඒ තුළින් ඔහු වෙනත් රාජ්‍ය නායකයන්ගේ අවධානය තමන් වෙත යොමුකර ගැනීමට උත්සාහ ගෙන ඇත. දිමුතුගේ විශ්වාසයට අනුව රට රටවල රාජ්‍ය නායකයන් අතර හිතවත්කම් ඇතිකර ගැනීමේදී එය මහත් පිටිවහලක්‌ වී ඇත.

ඒ සියල්ල එසේ සිද්ධවන අතර කලක පටන් දිමුතු විසින් කරගෙන එන තවත් සිදුවීමක්‌ වී ඇත්තේ ලෝක ප්‍රකට වාහන නිෂ්පාදන සමාගම් රාශියක්‌ සමඟ වෙනම හිතවත්කමක්‌ පවත්වමින් එහෙව් හිතවත්කම් නඩත්තු කරමින් දිගින් දිගටම කටයුතු කිරීමය. ඒ පිළිබඳව අපූරු තොරතුරු රැසක්‌ ද දිමුතු සතුව පවතින අතර ඒවා සිද්ධවී ඇත්තේ පහත සඳහන් ආකාරයටය.

පොඩි කාලෙ ඉඳල මගේ තිබුණ තවත් ආශාවක්‌ තමයි වාහනවලට ඇති කැමැත්ත. මුලින්ම ඉස්‌කෝලෙ අටේ පන්තියෙ ඉන්න දවස්‌වල මම ‘ටාටා’ කොම්පැණියට ලියුමක්‌ දැම්ම. ඒකට ප්‍රාදේශීය කළමනාකරුවකුගේ අත්සනින් පිළිතුරු ලැබෙනව. ඔහොම ඉන්න අතරේ උසස්‌ පෙළ කරන කාලෙ එංගලන්තේ “රෙනෝල්ඩ් ට්‍රක්‌” හදන කොම්පැනියට ලිපියක්‌ දානව. ඒකට පිළිතුරු ලිපියක්‌ එක්‌ක මට තෑගි පාර්සලයක්‌ ලැබෙනව. රු. 17980 ක්‌ ගෙවල මම ඒක ගන්නව. ඊට පස්‌සෙ මම නැවතත් මුදල් ගෙවපු රිසිට්‌ එකත් එක්‌ක එංගලන්තෙ රෙනොල්ඩ් කොම්පැණියට ලිපියක්‌ ලියනව. මම පාසල් ශිෂ්‍යයෙක්‌ මෙච්චර මුදලක්‌ පාර්සලය සඳහා වැය වුණා කියල. සති තුනක්‌ ගියේ නෑ. පවුම් 150 ක වටිනාකම් සහිත චෙක්‌ පතක්‌ එක්‌ක මට පිළිතුරු ලැබෙනව. ඒ කාලෙ පවුම් 150 ක්‌ කියන්නෙ ලංකාවෙ මුදලින් රු. 21850 ක්‌.

වාහන සමාගම් එක්‌ක මගේ තියෙන හිතවත්කම මේ වන විට ගොඩක්‌ දුරදිග ගිහිල්ල තියෙන එකක්‌ රටවල් 20 ක තියෙන වාහන නිෂ්පාදන සමාගම් 400 ක්‌ එක්‌ක මම ලිපි ගනුදෙනු කරල තියෙනව. අදටත් කරනව. එහෙම ගනුදෙනු කරගත්ත ලිපි 2600 ක්‌ මගේ ළඟ තියෙනව. ඒ අතරින් ඇමෙරිකාව, ප්‍රංශය, බ්‍රිතාන්‍යය, ජර්මනිය විශේෂයි. බෙන්ස්‌, රෝල්ස්‌ රොයිස්‌, බෙන්ට්‌ලි, ඇස්‌ටන් මාටින්ස්‌, රේන්ඡ් රෝවර්, ලෑන්ඩ් රෝවර්, ජගුවර් ආදී කාර් හදන සමාගම් එක්‌ක මගේ තියෙන්නේ සමීප හිතවත්කමක්‌. ඔය හැම හිතවත් කමක්‌ ම ඇතිවෙලා තියෙන්නේ ඒ අයත් එක්‌ක දීර්ඝ කාලීනව කරපු ලිපි ගනුදෙනුව හින්ද මිසක්‌ වෙනත් හේතූන් හින්ද නෙවෙයි.

ඒ සමාගම්වලින් පළකරන සඟරා ඒ අය නිෂ්පාදනය කරන වාහනවල ආකෘති හැම එකක්‌ම මට එවනව. 1948 ලෑන්ඩ් රෝවර් සමාගම ආරම්භ කරමින් නිෂ්පාදනය කළ පළමුවැනි ජීප් එකේ ආකෘතියේ ඉඳල 2017 දී බෙන්ස්‌ සමාගම විසින් අලුතින්ම නිපදවන්න හදන කාර් එකේ ආකෘතියත් මේ වෙද්දී මගේ ළඟ තියෙනව. කැසිනෝ රෝයල් කියන චිත්‍රපටය වෙනුවෙන් නිෂ්පාදනය කළ කාර් එකේ ආකෘතිය මගේ වාහන ආකෘති එකතුවෙ තියෙනව. මගේ විශේෂත්වය තමයි පිටරටින් මට ලැබෙන ලිපියක ලියුම් කවරයේ ඉඳල සෑම දෙයක්‌ම පණ වගේ පරිස්‌සම් කරන එක. මේ වෙද්දී ඇමෙරිකාවේ නව ජනාධිපතිට සුබ පතල යවන්න නිර්මාණය කරපු ලිපියක්‌ තියෙනව. මම විශ්වාස කරනව ඒ උත්සාහයත් සාර්ථක වේවි කියල.

මේ දේවල් මොන හේතුවක්‌ හින්ද වෙනවද කියන්න හරියටම දන්නෙ නැති වුණත් මම විශ්වාස කරන දෙයක්‌ තමයි පෙරභවයක හරි බ්‍රිතාන්‍ය රජ පවුල සහ ඔය කියපු අනෙක්‌ පුද්ගලයන්, ආයතන සමඟ මගේ මොකක්‌ හරි සම්බන්ධයක්‌ තියෙන්න ඇති කියන එක……”

ඔප්පු කළ හැකි සාක්‌ෂි දින සටහන් පෙන්වමින් ඒවා පිළිබඳ විස්‌තර පවසමින් දිමුතු විසින් කරගෙන ආ කතාබහ නිමකළ අතර ඔහු මේ වන විටත් සිදුකරන්නේ ජීවත්වීම පිණිස සුළු ව්‍යාපාරික කටයුත්තක්‌ කරගෙන යැම පමණය. ඇතැමෙක්‌ ජීවත්වීමත් ජීවිත අපේක්‌ෂාවන් දල්වා ගැනීමත් පිණිස වෙනස්‌ම ආකාරයේ හුරුපුරුදු ඇතිකරගන්නේ තව කෙනකු තුළ ‘විමතියක්‌’ දනවන ආකාරයෙන් නම් දිමුතු එවැනි විමතියක්‌ දනවන සුළු තවත් එක්‌ පුද්ගලයෙක්‌ වන්නේ මේ සියලු කාරණා ඔහු විසින් සිදු කරනු ලබන්නේ ශත පහක ලාභ ප්‍රයෝජනයක්‌ වෙනුවෙන් නොවීම හේතුවෙන්ය.

 

රුවන් ජයවර්ධන