ප්‍රභාකරන්ව සිනමාවට නගනවා

එල්. ටී.ටී.ඊ. සංවිධානයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ වේළුපිල්ලෙයි ප්‍රභාකරන් ගේ ජීවිත කතාව ඇතුළත් චිත්‍රපටයක් නිර්මාණය වන බවට මාධ්‍යය හරහා පසුගියදා ප්‍රචාරය විය. ඔක්කාඩු මිගිලාදු නම් වන මෙම තෙලිඟු චිත්‍රපටයේ මූලික රූපගත කිරීම් මේ වනවිට අවසන්ව ඇති අතර, චිත්‍රපටය වෙනුවෙන් එහි ප්‍රභාකරන් ලෙස ප්‍රධාන චරිතය රඟපාන තෙලිඟු සිනමාවේ ප්‍රකට නළුවෙක් වූ මන්චු මනෝජ් කුමාර් පෙනී සිටින ‍පෝස්ටරයක් පසුගිය සතියක නිකුත් වූයේ ඉන්දියාව තුළ මෙන්ම අප රටේද ආන්දෝලනයක් ඇති කරමිනි.
මන්චු මනෝජ් තෙලිඟු සිනමාවේ සුප්‍රකට නළුවෙකු වූ මොහාන් බාබු ගේ පුත්‍රයාය. කෙසේවුවද දැනට වාර්තාවන ආකාරයට අජේ ඇන්ඩෲස් නුතාකි අධ්‍යක්ෂණය කරන මෙය 1990 කාලයේ එල්.ටී.ටී.ඊ.ය සම්බන්ධ සිදුවීම් හා ජාත්‍යන්තර මැදිහත්වීම තුළ 2001 වසරේදී සටන් විරාමයක් ඇති වූ අයුරු විස්තර කෙරෙන ප්‍රභාකරන් සම්බන්ධ චිත්‍රපටයක් මිස එය එල්.ටි.ටී.ඊ. නායකයාගේ ජිවිත කතාව නොවේ. ලබන වසරේදී ඔක්කාඩු මිගිලාදු තිරගත වීමට නියමිතය. 1990 වසරේ සිවිල් යුද සමයේ සිදු වූ සත්‍ය සිදුවීම් ඇසුරින් තැනෙන බව කියැවෙන මෙම චිත්‍රපටය සඳහා තම සිරුරේ බර වැඩි කරගනිමින් මන්චු මනෝජ් මනා කැපවීමකින් සුදානම් වූ බව අධ්‍යක්ෂවරයා කියයි. ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය සම්බන්ධ සිදුවීම් දින විසිපහක් තුළදී පරවාඩා ප්‍රදේශයේදී රූපගතකොට ඇති අතර, චිත්‍රපටයෙන් සියයට හැත්තෑපහක් පමණ මේ වනවිට නිමකොට අවසන් බවද වාර්තා වෙයි.
මේ චිත්‍රපටයට ඇතුළත් වන සිදුවීම් කුමන පාර්ශ්වයකට වාසි, අවාසි ගෙනදේදැයි තර්ක විතර්ක පවතින අතර මේ චිත්‍රපටය හේතුවෙන් ප්‍රභාකරන් යළි කරළියට පැමිණ සිටියි. මේ නිසාම ඔහුගේ ජීවිත කතාව සිනමාවට නැගෙනවානම් එහි ප්‍රධාන හා කැපී පෙනෙන චරිත රඟපෑම සඳහා වඩාත් සුදුසු නළු, නිළියන් මෙන්ම එහි අධ්‍යක්ෂණය සඳහා වඩාත් සුදුසු කව්දැයි යන්න සම්බන්ධයෙන් විචාරකයින් බහුතරයකගේ කැමැත්තට අනුව තෝරාගත් කණ්ඩායමක් ගැන සඳහන් ලිපියක් ඉන්ඩියා ටුඩේ වබේ අඩවියෙන් අපට හමුවීය. ප්‍රභාකරන් සම්බන්ධයෙන් දකුණු ඉන්දියාවේ ඇතැමුන් තුළ හැරුණු විට බහුතරයක් තුළ ඇත්තේ ඔහු මිනීමරුවෙක්ය යන අදහස වන අතර මෙම සිහින නළු නිළි කණ්ඩායම සැකසී ඇත්තේ ප්‍රභාකරන් වීරයෙකු කිරීමට නොව ප්‍රකට පුද්ගලයෙකු සම්බන්ධ චිත්‍රපටයක් නිර්මාණය කිරීමට පහසුවක් වනු පිණිස බව පෙනෙයි. අනෙක් අතට එහි එන ඇතැම් චරිත අප රටේ සුප්‍රකට චරිතය.
‘ඉන්දියන් ටුඩේ’ වබේ අඩවියේ දැක්වෙන ලිපිය ඇරඹෙන්නේ ප්‍රභාකරන් විසින් ලියන ලද ලිපියක් පසුගියදා ඔහුගේ අනුගාමිකයෙකු ලෙස සැලකෙන මරුමලාචි ද්‍රවිඩ මුන්නේත්‍ර කයාගම් පක්ෂයේ නායක වයිකෝ විසින් තමිල්නාඩුවේ හිටපු මහ ඇමැති කරුණානිධි ට භාරදුන් බව හෙළිකරමිනි. ඒ අතරම 2009 වසරේ ශ්‍රී ලංකා හමුදාව විසින් අවසන් කරන ලද යුද්ධයේදී මියගිය ප්‍රභාකරන් තම්බි හෙවත් “මල්ලි” ලෙස ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ දෙමළ ජනතාව අතර ප්‍රකටව සිටි බවද එය සිහිපත් කරයි.
මේ සියල්ල සලකා බැලූවිට ඔහුගේ ජීවිත කතාව ඇත්ත ඇති සැටියෙන් සිනමාවට නගනවානම් එය අධ්‍යක්ෂණය කිරීමට භාරදියයුතු හොඳම තැනැත්තා ලෙස මේ විචාරක කණ්ඩායම සලකන්නේ මනිරත්නම්වය. ඔහු අධ්‍යක්ෂණය කළ රෝජා පමණක් නොව එල්.ටි.ටී. ඊ.ය සම්බන්ධ සිදුවීම් පසුබිම් කොට තැනු කන්නතිල් මුතමිටාල් ගැනද සලකා බැලූවිට මනිරත්නම් හැරුණුවිට ප්‍රභාකරන්ගේ ජීවිත කතාව සිනමාවට නගන්නට සමත් වෙන කව්ද යන ප්‍රශ්නය ඔව්හු නගති.
අනෙක් අතට සුප්‍රකට ඉන්දියානු ව්‍යාපාරික ධිරුබායි අම්බානිගේ ජිවිත කතාව ගුරු නමින් සාර්ථක ලෙස සිනමාවට නැගීම හරහා තමාට ජීවිත කතා සිනමාවට සාර්ථක ලෙස ගෙන ආ හැකි බව ඔහු ඔප්පු කොට තිබේ. හිටපු දේශපාලනඥයෙකු හා සිනමා නළුවෙකු වන එම්.ජී.ආර්. සහ තමිල් නාඩුවේ හිටපු මහ ඇමැති කරුණා නිධි අතර අප්‍රසන්න වූ බල අරගලය හා දකුණේ දූෂිත දේශපාලනය ඔහු තම ‘ඉරු වර්’ චිත්‍රපටය තුළින් සාර්ථක ලෙස ඉදිරිපත් කළේ දේශපාලන පසුබිමක් සහිත කතා සිනමාවට නැගීමට තමා හපනෙක් බව පෙන්වා දෙමිනි.
මෙම ලිපිය එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මුල් යුගය පිළිබඳව සිහිපත් කරන්නේ 1982 මැයි 18 වැනිදා චෙන්නායි නගරයේ ‍පොන්ඩි බසාර් හි සිනමා ශාලාවක් ඉදිරිපිට එකිනෙකා මරාගැනීමට උත්සාහ කළ ශ්‍රී ලංකාවේ දෙමළ තරුණයින් දෙදෙනෙකු ‍පොලිස් අත්අඩංගුවට පත් වූ ආකාරය විස්තර කරමිනි. ඒ දෙදෙනා නම් මුකුන්දන් යන නමින්ද හැඳින්වුණු ප්ලොට් සංවිධානයේ නායක උමා මහේශ්වරන් සහ ප්‍රභාකරන්ය. දෙදෙනා එක්වරම පිස්තෝල පිටතට ඇදගත්තද, ප්‍රභාකරන් ඉස්සර වූ බවද ඔහු තැබූ වෙඩි හයෙන්ම බේරී උමා පැනගත් බවද කියැවෙයි. ප්‍රභාකරන්ද එතැනින් පැන දුවන්නට තැත්කළද ඔහු ‍පොලීසිය විසින් අල්ලාගනු ලැබූ අතර දින හයකට පසු අසල දුම්රිය පළක සිටියදී ‍පොලීසිය දෙසට වෙඩි තබද්දීත් උමා මහේෂ්වරන් අල්ලාගන්නට ‍පොලීිසිය සමත් වූ බව මෙහි විස්තර කරන්නේ සිරුරේ හිරිගඬු නංවන මෙවැනි කතා චිත්‍රපටයකට හොඳින් ගැළපෙනවා නොවේදැයි වක්‍රාකාරයෙන් අසමිනි. එවන් චිත්‍රපටයක් සාර්ථකව ඉදිරිපත් කරන්නට නම් එය මනිරත්නම් අධ්‍යක්ෂණය කළයුතු අතර ඒ.ආර්.රෙහ්මාන් සංගීතය සැපයිය යුතු වෙයි. ප්‍රභාකරන්ගේ ජිවිතය වැනි සිදුවීම් බහුල කතාවක් සිනමාවට නැගීමට මනිරත්නම් වඩාත් සුදුස්සා වන්නේ ඔහු චිත්‍රපටයක තිර රචනය සකස් කරන ආකාරය හා චරිත විග්‍රහ කරන ආකාරය හේතුවෙනි. දේශපාලන හේතු නොවන්නට මනිරත්නම්ගේ තිර රචනය එලෙසින්ම සිනමාවට නැගුණේනම් කන්නතිල් මුතමිටාල් ඉතා සාර්ථක චිත්‍රපටයක් විය හැකිව තිබුණු බව එහි මුල් තිර රචනය ගැන දන්නා විචාරකයින්ගේ අදහසයි. ඒ අතරම මනිරත්නම්ගේ චිත්‍රපට ජාත්‍යන්තර වශයෙන් ප්‍රකටවන්නට අදාළ චරිත සඳහා ඔහු තෝරාගන්නා නළු, නිළියන් බලපාන බව සිහිකරන මෙම ලිපිය ප්‍රභාකරන්ගේ ජීවිත කතාවේ සිහින නළු නිළි කණ්ඩායම මෙසේ විස්තර කරයි.
ඒ අනුව වේළුපිල්ලෙයි ප්‍රභාකරන්ගේ චරිතයට වඩාත් ගැළපෙන්නේ දෙමළ මෙන්ම හින්දි සිනමාවේද ජනප්‍රිය නළුවෙකු වන හා කාන්චිවරම් චිත්‍රපටය සඳහා හොඳම නළුවා ලෙස ජාතික සම්මානය දිනාගත් ප්‍රකාශ් රාජ්ය. ප්‍රභාකරන්ගේ බිරිය වු මදිවදනි ගේ චරිතයට ගැළපෙන නිළිය ලෙස ඔවුන් නම්කරන්නේ මලයාලම් සිනමාවේ ජනප්‍රිය හා සම්මානනීය නිළියක වන මන්ජු වාරියර්ය. උමා මහේශ්වරන්ගේ චරිතයට දෙමළ සිනමාවේ ජනප්‍රිය හා විචාරක ප්‍රසාදයට දැඩි ලෙස පාත්‍ර වූ නළුවෙකු වන පසුපති ද, ප්‍රභාකරන්ගෙන් පසු සංවිධානයේ නායකයා වූ හා අදටත් අප රටේ ආන්දෝලනාත්මක චරිතයක් වන ෂන්මුගන් කුමාරන් හෙවත් වැඩිදෙනෙකු දන්නා පරිදි කේ.පී.ගේ චරිතයට වඩාත් ගැළපෙන්නේ විචාරක ප්‍රසාදයට ලක්වූ කිෂෝර්ය. තවමත් අප රටේ ප්‍රකට චරිතයක් වන විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ලෙස රඟපාන්නට වඩාත් සුදුසු නළුවා සුරිලිය.
එල්.ටී.ටී.ඊ. සංවිධානයේ තවත් ප්‍රකට චරිතයක් වන කිට්ටු ලෙස රඟපෑමට සුදුසු වන්නේ නළුවෙකු මෙන්ම සම්මානනීය අධ්‍යක්ෂවරයෙකුද වන සන්තනා භාරති වන අතර එල්.ටි.ටී. ඊ.ය විසින් ඝාතනය කරන ලද හිටපු ඉන්දීය අගමැති රාජිව් ගාන්ධි ලෙස රඟපෑමට තෝරාගත යුත්තේ දෙමළ, මලයාලම් මෙන්ම හින්දි සිනමාවේද ජනප්‍රිය නළු හා ගායක ප්‍රිත්විරාජ්ය.
මීළඟ ප්‍රභාකරන් ගැන තැනෙන චිත්‍රපටයක සිහින කණ්ඩායමට නැතුවම බැරි චරිත දෙක අප ඉතා හොඳින් දන්නා සුප්‍රකට දේශපාලනඥයින්ය. ඒ එල්.ටී.ටී.ඊ.ය විසින් ඝාතනය කරන ලද හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාස හා එල්.ටි.ටී.ඊ.ය පරාජයකොට  ප්‍රභාකරන් ඝාතනය කිරීමේ සටනේ සේනාධිනායකත්වය දැරූ හිටපු ජනපති මහින්ද රාජපක්ෂය. හිටපු ජනපති ප්‍රේමදාසගේ චරිතය මලයාලම් චිත්‍රපටයක ඉන්දීය ජනපති ප්‍රනාබ් මුකර්ජි ලෙස හා එල්.ටී.ටී.ඊ.ය පසුබිම් කොට ජනප්‍රිය බොලිවුඩ් නළු ජෝන් ඒබ්‍රහම් නිෂ්පාදනය කළ මැඩ්රාස් කැෆේ චිත්‍රපටයේ එන සංකීර්ණ චරිතයක් වන රොබින් දත්  ලෙස රඟපෑ සුප්‍රකට නළු හා නිවේදක සිද්ධාර්ථ බාසු විසින් රඟපෑ යුතු අතර හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ චරිතය රඟපෑමට සුදුසුම නළුවා වන්නේ චිත්‍රපට තුන්සිය පනහකට වැඩි ගණනක රඟපා ඇති මලයාලම් සිනමාවේ සුපිරිතම හා සම්මානනීය නළු මම්මුට්ටිය. මෙහි තවත් විශේෂත්වයක් වන්නේ හිටපු ජනපතිවරයා මෙන්ම ඔහුද වෘත්තියෙන් නීතිඥවරයෙකු වීමයි.

ප්‍රභාකරන් ලෙස ප්‍රකාශ් රාජ්

මහින්ද රාජපක්‍ෂ ලෙස මම්මුට්ටි

රණසිංහ ප්‍රේමදාස ලෙස සිද්ධාර්ත බාසු

රාජිව් ගාන්ධි ලෙස ප්‍රිත්විරාජ්

උමා මහේෂ්වරන් ලෙස පසුපති

මදිවදනි ලෙස මන්ජුවාරියර්

කරුණා අම්මාන් ලෙස සුරලි



චිත්‍රපටයේ අධ්‍යක්ෂණය මනිරත්නම් , සංගීත අධ්‍යක්ෂණය ඒ.ආර්. රහුමාන්

නිශානි දිසානායක