ක්‍රීඩා ඇමැතිතුමනි.., දූෂණ දැක දැක ඇස් කන් පියාගෙන සිටීම යහපාලනයද?

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන තුළ මේ වන විට නරි නාටක රැසක් රඟන්නට පටන්ගෙන තිබේ. රාජපක්ෂලා බලයෙන් පහකොට වත්මන් රජය බලයට පත් වූයේ රටතුළ යහපාලනයක් ගොඩ නැංවීමට ය. එසේම ක්‍රිකට් ආයතනයේ ද වසර ගණනක් අරක්ගෙන සිටි රාජපක්ෂ හිතවතුන් වන ඩී.එස්. ද සිල්වා, සුරාජ් දන්දෙණිය, උපාලි ධර්මදාස හා නිශාන්ත රණතුංග බොහෝ අමාරුවෙන් එළවා දමා තිලංග සුමතිපාල හා ජයන්ත ධර්මදාස එක්ව එහි බලය අල්ලා ගත්තේ ද ක්‍රිකට් පරිපාලනය තුළ යහපාලනයක් ඇති කරන්නට ය.

කලක් තිලංගගේ ගජ මිතුරුව සිට දැන් නයාට අඳුකොළ සේ සිටින අර්ජුන ද ක්‍රිකට් පරිපාලනයට රිංගා ගැනීමේ කෑදර කම නිසාම “ හොරා..! හොරා..!“ කියමින් පතුරු ගැසූ තම සහෝදරයා වන නිශාන්ත සමග එක්ව පසුගිය ක්‍රිකට් නිලවරණයට තරඟ වැදුණද අන්ත පරාජයකට පත් වූයේ ය. අදටත් ඔහු තිලංගත් ක්‍රීඩා ඇමැති දයාසිරිත් පතුරු ගසන්නේ ක්‍රිකට් මහගෙදර උලා කෑමට ඔවුන් ඔහුට ඉඩ ලබා නොදීමේ වෛරය නිසා ය. සීඑස්එන් නඩුවට පැටලී සිටින නිශාන්තත් සහෝදරයා සමග බූදල් නඩුවකට පැටලී සිටින උපාලිත් මේ වන විට නිහඬය.

තිලංග සුමතිපාල ද එහි වාසිය උපරිම ලෙස ගනිමින් ක්‍රිකට් මහ ගෙදර තනි පාලනයකට යටත් කරගෙන ඇත. වෙනදා ක්‍රිකට් වල දූෂණ ගැන කෑ මොර දෙන ජවිපෙ ද උප කථානායකවරයාට සහාය දක්වමින් එහි සිදුවන දේ නොදැක්කා මෙන් සිටී.

ජයන්ත ධර්මදාස ද අද අස්වෙනවා හෙට අස්වෙනවා කියමින් තිලංගගේ වාරයෙන් පසු තමන්ට හිමි වෙතැයි අපේක්ෂා කරන මුල් පුටුව ලැබෙන දිනය ගැස ඇඟිලි ගනිමින් බලා සිටී.

මේ අතර ක්‍රිකට් විධායක සභාව අරක්ගෙන සිටින තිලංග හා ජයන්ත හිතවතුන් අන්ධයාගේ බූදලය බඳු ක්‍රිකට් නිධානය තුළ කරණම් ගසන්නේ තරඟයට ය.

ක්‍රිකට් ආයතනයේ වැටුප් ලබන ඉහළ පෙළේ නිලධාරීන් ද එදා නිශාන්තට ඇල්ලූ ගොට්ට දැන් තිලංගට අල්ලන්නේ රැකියා බේරා ගැනීමට වුවත් මේ වසර අවසානයේ කොන්ත්‍රාත් පදනම අවසන් වන 160 ක පමණ ක්‍රිකට් ආයතනයේ සේවකයන් වැඩි පිරිසකට ගෙදර යාමට සිදුවනු ඇතැයි සේවකයෝම පවසති.

වසර මැද බෝනස් මුදල අහිමි වූ 230 කට ආසන්න සේවක පිරිසට වසර අවසානයේ බෝනස් මුදලද නොලැබෙන ලකුණු පහල වී තිබේ. ඒ ක්‍රිකට් ආයතනයේ මුදල් නොමැති බවට ගෙන යන ප්‍රචාරය නිසා ය. ඩී.එස්., සුරාජ්, උපාලි හා නිශාන්තගේ දුර්දාන්ත පාලනය හා රාජපක්ෂලාගේ සූරා කෑම හේතුවෙන් සූරියවැව හා ඛෙත්තාරාම ක්‍රීඩාංගන වල සිදුකෙරුණු ඉදිකිරීම් වෙනුවෙන් ක්‍රිකට් ආයතන තවත් රුපියල් බිලියන 4 කට ආසන්න මුදලක් ණය වශයෙන් ගෙවීමට ඉතිරිව ඇත. අයිසීසී යට ද තවත් විශාල මුදලක් ණය හා පොලී ගෙවීමට තිබේ.

එසේ තිබියදී ක්‍රිකට් ආයතනයට තව තවත් සේවකයන් බඳවා ගැනීමට යයි. තමන්ගේ පෞද්ගලික හිතවතුන් මෙන්ම ඡන්දය ලබා දෙන ක්‍රීඩා සමාජ වල නිලධාරීන්ට ක්‍රිකට් ආයතනට තුළ ලක්ෂ ගණන් ඉපැයිය හැකි රැකියා, පත්වීම් හා කොන්ත්‍රාත් ලබා දීම මේ දිනවල ජයටම සිදුකෙරේ.

තිලංග හා ජයන්ත බලයට පත්වීමෙන් පසු මේ වන විට විශේශයෙන්ම නිර්මාණය කෙරුණු තනතුරු සඳහා 25 කට ආසන්න පිරිසක් බඳවා ගෙන තිබේ. සමහරු වෙනත් රැකියාවළද නිරත වන සම්බන්ධීකාරක වරුන් ය. ඔවුනට ප්‍රවාහන දීමනා ද ඇතුළුව ලක්ෂයත් ලක්ෂ 3 ත් අතර මාසික වැටුප් ලබා දේ මේ කිසිවෙකු බඳවා ගැනීමේ දී පුවත් පත් වල දැන්වීම් දමා අයැදුම් පත් කැඳවා පිළිගත් මණ්ඩලයක් හමුවේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමක් සිදු නොකිරීම විශේෂ ය.

ජනතාවට විහිළු සපයන අපූරු පුවත් පත් දැන්වීමක් පසුගියදා පළ කර තිබිණ. ඒ තනතුරු 10 ක් සඳහා අයැදුම්පත් කැඳවන දැන්වීමකි. සියළුම තනතුරු කළමනාකාර තනතුරුය. සියල්ලටම උපාධියක් අවශ්‍ය බව දන්වා එම දැන්වීම ක්‍රිකට් ආයතන වෙනුවෙන් පළ කර ඇත්තේ එහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා (COO) වන ජෙරොම් ජයරත්නය. ලක්ෂ 5 කට අධික වැටුපක් ලබන මොහු ටයි පටියක් පැළැඳ උදේ හවස ක්‍රිකට් ආයතනයේ දක්නට ලැබෙතත් මොහු අපොස උසස් පෙළවත් සමත් නොමැත. 

ලක්ෂ 5 කට වඩා වැටුපක් ගන්නා ප්‍රධාන විධායක නිලධාරී (CEO) ඈෂ්ලි මැතිව් ද සිල්වාට ඇත්තේ යාන්තම් සමත් වූ අපොස සාමාන්‍ය පෙළක් පමණි. ක්‍රීඩා කර ඇත්තේ ද ටෙස්ට් තරඟ 3 කට සහ එක් දින තරඟ 4 කට පමණක් ය. උපාධිධාරීන් රැකියා සඳහා කැඳවන්නේ මෙවැන්නන් ය. ගැහැණු සොඬෙකු වන ඈෂ්ලිට ආයතනයේ ඇහැට කනට පෙනෙන ගෑණු පරාණයක් පේන්නට බැරි ය. නවුචලී නම් සුරූපී ලේකම්වරියක් පසුගියදා සේවය අතහැර ගියේ මොහුගේ ඉල්ලීම් වලට අවනත විය නොහැකි නිසා ය. ගයාත්‍රී නම් තවත් ලේකම්වරියක් පසුගියදා වැඩ තහනමකට ලක් කළ අතර පුවත් පතකට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් ඇය කියා සිටියේ ක්‍රිකට් ආයතනයේ ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකුම ඇගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ බවයි. ඒ අතර ඈෂ්ලි  ද ඉදිරියෙන්ම සිටින බව සේවකයෝ කියති. විධායක කමිටුවේ ලේකම් හා භාණ්ඩාගාරිකගේ නම් ද මේ අතර කියැවෙන නිසා ගයාත්‍රිගේ චෝදනා විභාගයට නොගෙනම හමස් පෙට්ටියට යවා තිබේ.

මේ සියල්ල දනිතත් ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර කිසිවක් නොදුටු ලෙස ඇස් කන් පියාගෙන සිටීම යහපාලනයේම කොටසක් දැයි නොදනිමු..!

-ලංකා ඊ නිව්ස් විශේෂ වාර්තා කරුවෙකු විසිනි-