අත මිට සරු කාලේ හිටපු යාළුවෝ කවුරුත් අද නැහැ

බැප්ටිස්ට් ප්‍රනාන්දු

බැප්ට්ස්ට් ප්‍රනාන්දු යනු සිංහල සිනමාවේ ඉතාම සුප්‍රකට රංග ශිල්පියෙකි. ඔහු සිංහල සිනමාව තුළ වඩාත් ජනප්‍රිය වූයේ දුෂ්ඨ චරිත රංගනය හේතු කොටගෙනය. පසු කලෙක දුෂ්ඨයාගෙන් මිදී පෙම්වතා ලෙසින් ද, වීරයා ලෙසින් ද විවිධ චරිත රංගනයට එක් වූ බැප්ටිස්ට් චිත්‍රපට නිෂ්පාදනයට මෙන්ම අධ්‍යක්ෂණයට ද යොමු විය.

ආදායම් වාර්තා තැබූ තුෂාරා, හොඳට හොඳයි, සත පනහ, ඔහොම හොඳ ද ආදී චිත්‍රපට රැසක ඔහු රංග ප්‍රතිභාව පසක් කළේය. සුදු අයියා, ටිකිරා, ඒක දිග කතාවක්, නාමල් රේණු, රජ කෙල්ලෝ, සහනය, අංගුලිමාල, දුප්පතාගේ හිතවතා ආදී චිත්‍රපට නිෂ්පාදනය කළ බැප්ටිස්ට් වටා එදා විශාල පිරිසක් එක් රොක් වී සිටියහ. එහෙත් අද ඔහු ගැන සොයා බලන්නට තියා ඔහු ඉන්නවාද නැද්ද යන්නවත් සොයා බලන්නකු නැති තරම්ය. මේ රටේ කලාකරුවන්ගේ ඛේදවාචකය මෙය වුව ද ජීවිතයේ හුදකලා වූ මේ අසහාය කලාකරුවා අද දිවි ගෙවනුයේ තම දියණිය වූ ෂමිලා ප්‍රියදර්ශනී සමඟය.

88/2 ඩී, පහළ කරගහමුන, කඩවත ලිපිනයේ අද වියපත් දිවියක් ගෙවන බැප්ටිස්ට් ප්‍රනාන්දු තම දුක්බර කතාව අපට කිව්වේ මේ විදියට.

මම සිනමාවෙන් ඉවත් වුණේ ජීවිතයේ සැඳෑසමය සුවයෙන් ගත කරන්න හිතාගෙන. ඒත් ඒ දේම මගේ කරුමය බවට පත් වුණා. මගේ සියලු දේපල මට නැතිව ගියා. මම අසනීප වුණා. තරුණ අවධියේ වගේ සිනමාවේ වැඩ කරන්න බැහැ කියලා මට හිතුණ නිසා මම එයින් ඉවත් වෙලා මගේ ව්‍යාපාර කරගෙන හිටියා. දරුවන්ට මගෙන් විය යුතු යුතුකම් ඉටු කළා. ඊට පස්සේ මට හිතුණා මගේ ව්‍යාපාර කටයුතුවලින් ඉවත් වෙන්න. මගේ සියලු දේපල මම විකුණා ඒ මුදල් ගොල්ඩන් කී මූල්‍ය ආයතනයේ තැන්පත් කළා.

ඒ මුදල විතරක් රුපියල් ලක්ෂ 131 ක්. මේ මුදල් තැන්පතුවෙන් මට මාසෙකට ලක්ෂ දෙක හමාරකට වැඩි පොලියක් ලැබුණා. එක පාරටම මේ මූල්‍ය ආයතනය කඩා වැටුණා. මගේ මුදල් මට නැතිව ගියා. අන්තිමට වුණේ කෝටිපතියා හිඟන්නෙක් වීම පමණයි. මේ සිද්ධියත් එක්ක මම ගොඩක් අසනීප වුණා. මම බොහොම සමීපව ඇසුරු කළ මගෙන් උදවු අරගත්ත සිනමා කර්මාන්තයේ හිතවතුන්ට දුරකතනයෙන් කතා කරලා මම කිව්වා මගේ අසනීප තත්ත්වය. එහෙම නැතුව මම හිඟාකන්න ගියේ නැහැ. ඒත් ඒ කවුරුවත් මම දිහා ඇහැක් ඇරලවත් බැලුවේ නැහැ.

එවක ඔබ තමයි සිංහල සිනමාවෙ හිටපු සල්ලි යහමින් අතමිට ගැවසුණු නළුවා?

ඒ නිසාම එදා මාත් එක්ක හිටිය පිරිස නිමක් නෑ.

අද ඒ අය කෝ?

කිසිම කෙනෙක් නෑ. මම අන්ත අසරණයි. මම මේ ගෙදරට වෙලා ජීවත් වෙනවා. මේක මගේ කරුමය. ඒ කාලේ ඇලකන්දේ තිබුණු මගේ පැනමා හෝටලයට මොන තරම් නළුවෝ නිළියෝ ආවාද,

අසනීප වුණාට පස්සේ කවුරුවත් හිතවතුන් කතා කළේ නැද්ද?

අද මගෙන් කාටවත් වැඩක් නැහැනේ. එදා වගේ මගේ අතේ සල්ලි තිබුණා නම් ඕනෑ තරම් කට්ටිය මම ළඟ ඇති. වී. වාමදේවන්, රෝයි ද සිල්වා, සුමනා අමරසිංහ, සෝනියා දිසා වගේ කීප දෙනෙක් මට මුල් කාලයේ කතා කළා. අද වෙන කොට දරුවෝ ටික විතරයි.

ඔබ සිනමාවට ආපු ඒ අතීතය ගැන කතා කරමු?

මම අහම්බෙන් සිනමාවට ආපු කෙනෙක්. පාසල් කාලයේවත් මම කලාව ගැන උනන්දුවක් දැක් වුව කෙනෙක් නෙවෙයි. මගේ ගම වෙන්නප්පුව. ඉගෙන ගත්තේ වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලයෙන්. දවසක් මම යාළුවෝ කීප දෙනෙක් සමඟ නාත්තන්ඩියේ ලූර්දු දේව මෑණියන්ගේ දේව මෙහෙයකට සහභාගි වුණා. ඒ අවස්ථාවේ යාළුවෝ එක්ක මමත් ළඟ තිබුණු ස්ටුඩියෝවකින් ෆොටෝ ගත්තා. ඊට ටික දිනකට පස්සේ බී. ඒ. ඩබ්ිලිව්. ජයමාන්න මහතා ඔහුගේ අලුත් චිත්‍රපටයකට නවක නළු නිළියන් අවශ්‍ය බව කියා පුවත්පත් දැන්වීමක් දමලා තිබුණා. මගේ යාළුවෙක් හිටියා ඒස්. ඒ. ප්‍රනාන්දු කියලා. මෙයා මටත් හොරෙන් එදා ස්ටුඩියෝවෙන් ගත්ත පින්තූරයක් ජයමාන්න මහත්තයාට යවා තිබුණා.

ඒ අනුව සම්මුඛ පරික්ෂණයකට එන්න කියලා ලිපියක් ලැබුණා. මට පුදුම හිතුණා. මගේ යාළුවා බලෙන්ම මාව පරීක්ෂණයට එක්ක ගියා. රුක්මණී දේවියගේ ගෙදර තමයි සම්මුඛ පරික්ෂණය තිබුණේ. පෙරකදෝරු බැණා චිත්‍රපටයට මාව තෝරා ගත්තා. ඒ මොහොතේම මට ඇඩ්වාන්ස් එකක් දුන්නා ඇඳුම් පැලඳුම් ගන්න ඉන්දියාවට යන්න කියලා. දවස් දෙක තුනකින් මම එඩී – රුක්මණී කණ්ඩායම සමඟ ඉන්දියාවේ. මදුරාසියේ වාහිනී චිත්‍රාගාරයේ රූපගත කිරීම් සිදු කළා. ඉස්කෝලෙටවත් දන්වලා නෙවෙයි මම ගියේ. මුලින් මාව තෝරගෙන තිබුණේ ප්‍රධාන චරිතයකට. ඒක පස්සේ වෙනස් වුණා.

ඔබේ මුල්ම රංගනය ද්විත්ව චරිතයක් වුණා?

මගේ මුල්ම චිත්‍රපටය වූ පෙරකදෝරු බෑණා හි පොලිස් ඉන්ස්පැක්ටර් කෙනෙක් විදියටත් මේ චිත්‍රපටයේ මාක් සැම්සන්ගේ සහායකයකු හැටියටත් චරිත දෙකක් රඟපෑවා. නැවත ලංකාවට ඇවිත් තමයි මම ඉස්කෝලෙන් අස් වුණේ. එතකොට මට වයස අවුරුදු 21 යි. ඊට පස්සේ දිගටම මට චිත්‍රපටවල රඟපාන්න ලැබුණා.

ඉන් පසු ඔබට චිත්‍රපට වැලක් එක දිගට රඟපාන්න ලැබුණා?

පුරුෂ රත්නය, අවිශ්වාසය, සිතක මහිම, රන් රස, සත පනහ, සැපත සොයා, ඔබ නැතිනම්, ඇතුල්වීම තහනම්, දෙවියනි ඔබ කොහිද?, ඔහොම හොඳද, හොඳට හොඳයි, කවුද රජා, තුෂාරා, සිරිල් මල්ලි, ක්‍රිස්තු චරිතය. ඒ අතරින් කීපයක්.

ඔබ බොහෝ විට දුෂ්ඨ චරිත තුළ කොටු වී ඒකාකාරී ගමන් මඟක රංගනයේ නියැලියා?

මට හැමදාම තිබුණේ වීරයාගෙන් හොඳටම ගුටි කාලා වැටෙන්න. අපි මේස පුටු කඩාගෙන, ජනෙල් දොරවල් බිඳගෙන වැටෙන කොට විසිල් පාර වැදුණේ වීරයාට. ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් අවුරුදු ගාණක් ඒ දේ කරලා මට එපා වුණා.

ඔබට වීරයා වෙන්න නොලැබෙන නිසා ද ඔබම චිත්‍රපට නිෂ්පාදනය කරමින් වීරයා වුණේ?

වෙන අය වීරයා චරිත නොදෙන නිසා චිත්‍රපටයක් නිෂ්පාදනය කරලා ඒකෙ වීරයා වෙන්න මම හිතුවා. අපේ රටේ නිෂ්පාදකවරු අධ්‍යක්ෂවරු රංග ශිල්පීන්ව රාමුගත කරනවා. දුෂ්ඨයා හැමදාම දුෂ්ඨ චරිතම කළ යුතුයි කියලා. ඕනෑම දක්ෂ රංග ශිල්පියෙකුට ඕනෑම චරිතයක් රඟපාන්න පුළුවන් එක ක්‍රමයක් තියෙනවා. ඒ තමයි රඟපාන්නේ නැතුව චරිතයේ ජිවත්වීම. අද බොහෝ රංග ශිල්පීන් කරන්නේ රඟපෑමයි. ඒ නිසා එක රැයෙන් ජනප්‍රිය වෙලා මතකයෙන් ඈත් වෙනවා. මම කළේ චරිතයේ ජිවත්වීම.

ඔබ ‘සහනය’ චිත්‍රපටය නිෂ්පාදනය කරමින් චිත්‍රපට නිෂ්පාදනයේ දොරටු විවර කර ගන්නවා?

දුෂ්ඨයාගේ චරිතයෙන් මිදෙන්න තමයි මම එහෙම කළේ. සුදු චරිතයක් රඟපෑමේ ආශාව මට තිබුණා. මගේ හිතවතුන් බොහෝ දෙනෙක් කිව්වා බැප්ටිස්ට් මෝඩ වැඩ කරන්න එපා කියලා. නමුත් මම හිතුවක්කාර විදියට ගමනක් ගියා. කවුරුවත් නොසිතූ ලෙස චිත්‍රපටය විශාල වශයෙන් ආදායම් වාර්තා තබමින් තිරගත වුණා.

අභියෝගාත්මක සටන්කාමී දුෂ්ටයෙක් වූ ඔබ වරෙක දුප්පතාගේ හිතවතා බවට පත්වෙමින් වීරයෙක් බවට පත් වෙනවා?

සටන්කාමී දුෂ්්ට චරිත රඟපෑ මම වීරයෙක් ලෙස ප්‍රධාන චරිතය රඟපාන්නේ මම නිෂ්පාදනය කළ දුප්පතාගේ හිතවතා චිත්‍රපටයෙන්. ඉහළ ආදායම් වාර්තා තබමින් එය සාර්ථක වුණේ කවුරුවත් නොසිතූ ලෙසින්. මම සිනමාවේ සාර්ථක වීරයෙක් කියලා ප්‍රේක්ෂකයෝ පිළිගත්තේ මේ චිත්‍රපටය හරහා. මම නිෂ්පාදනය කරමින් ප්‍රධාන චරිතය රඟපෑ ටිකිරා දින සියය පසු කරමින් ඉභනඥප ඩ්ඪබ වුණා.

සිනමාව තුළ දුෂ්ඨත්වය වීරත්වය ජය ගනිමින් නළුවෙක් වූ ඔබ නිෂ්පාදකයෙක්, අධ්‍යක්ෂවරයෙක් දක්වා සිනමාවේ ඉදිරියට පිය නැඟුවා?

1955 දී පෙරකදෝරු බෑණා චිත්‍රපටයේ රඟමින් සිනමාවට නළුවෙක් ලෙස විත් 1972 දී මම ‘සහනය’ නමින් චිත්‍රපටයක් නිෂ්පාදනය කළා. මගේම නිෂ්පාදනයක් වූ ‘අංගුලිමාල’ චිත්‍රපටය මගේ එකම හා මුල්ම චිත්‍රපට අධ්‍යක්ෂණය වුණා.

ඔබ එවක නිෂ්පාදනය කළ චිත්‍රපටවල නළු නිළියන් ගිවිසුම් අත්සන් නොකර රඟපෑමට විශේෂ හේතුවක් තිබුණාද?

ඔවුන් මා පිළිබඳ එවක තියා තිබූ විශ්වාසය ඊට හේතු වුණා. මම කාටත් හොඳ මුදලක් ගෙව්වා. කේවල් කිරීමක් නැහැ. එයාලගේ ගාණටත් වැඩිය මුදලක් මම ගෙව්වා. කාටවත් ණය වුණේ නැහැ.

උත්සාහයෙන් ආත්ම විශ්වාසයෙන් සිනමාව ජය ගනිමින් දුෂ්ඨ චරිත මෙන්ම වීර චරිත රංගනයෙන් ජනප්‍රියත්වයක් ලැබූ බැප්ටිස්ට් ඔබට අද ජීවිතය ගැන මොකද හිතෙන්නේ?

මම මේ ගමන ආවේ තනියමයි. මට හොඳ ආත්ම විශ්වාසක් තිබුණා. මගේම උත්සාහයෙන් මම ජීවිතය ගොඩ නඟා ගත්තා. චිත්‍රපට නිෂ්පාදනයේදීත් ඒ කාර්ය මම හරියට කළා. මම ගැන අනෙකුත් ශිල්පීන් තැබූ විශ්වාසය මම කිසි දිනෙක කඩ කළේ නැනැ. අදටත් මම මගේ ආත්ම ශක්තියෙන් ජීවත් වෙනවා. හුදකලා නිවසේ රූප පෙට්ටිය හැරෙන්නට අද මගේ තනියට කිසිවෙක් නැහැ. මම හිටිය හැටියට අද මම නැති බැරි කෙනෙක් වුණාට මගේ ඉරණම කොහොම විසඳෙයි ද කියලා මටවත් හිතාගන්න බැහැ. අපේ ලැබීමත් වාසනාවත් මේ හැම දේටම බලපානවා කියලා මම විශ්වාස කරනවා.

සිතක මහිම තුළින් ඔබ දුෂ්ඨයෙක් ලෙස තිරයට විත් පසුව සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාගේ දුෂ්ඨයා බවට පත් වෙනවා?

ඒ කාලේ අධ්‍යක්ෂවරු හිතුවා ගාමිණී විර චරිත කරන කොට දුෂ්ඨ චරිතයට සුදුසු කෙනා මම කියලා. ප්‍රේක්ෂකයොත් පිළිගත්තා. මායි ගාමිණියි අතර සටන් තිබෙන චිත්‍රපට ජනප්‍රිය වුණෙත් ඒ නිසා වෙන්න ඇති. ඔහොම හොඳද, කවුද රජා ඒකට හොඳ උදාහරණ. මට මතකයි මගෙන් පහරක් වැදිලා ගාමිණී ඔහොම හොඳ ද චිත්‍රපටයේ ඒ දවසේ ෂූටිනුත් නතර කළා.

එදා සටන් ජවනිකා තාත්ත්විකවද කළේ?

සටන් ජවනිකාවලදී බොරු බැහැ. ස්පෙෂල් එෆෙක්ට්ස් නැහැ. මුහුණට මුහුණලා කරන සටන හරිම තාත්ත්විකයි. අපි ජනෙල් කඩාගෙන පනින දර්ශන තිබුණා. මේස පුටු කඩාගෙන යන දර්ශන තිබුණා. රූපගත කිරිම්වලින් පසු දවස් දෙක තුනක් යනකන් තුවාලවල බේත් කැඩුම් බිඳුම්වලට පත්තු තෙල් බේත්. සටන් ජවනිකා රූපගත කරන දිනවලට වැල්ලවත්තේ හිටිය කැඩුම් බිඳුම් වෙද මහත්තයාට දන්වලයි එන්නේ හවසට තෙල් ගාන්න පත්තු බඳින්න සූදානම් වෙලා ඉන්න කියලා.

විජය චිත්‍රාගාරයේ හිමිකරුවා බවටත් ඔබ පත් වෙනවා?

ලාංකේය සිනමාවේ මහගෙදර වුණු විජය චිත්‍රාගාරය 83 දී ගිනි තිබ්බා. කලබල අතරේ මේ ගින්නට පැනලා චිත්‍රපට ගොඩක් බේරා ගත්තා. සිංහල සිනමාවේ නෙගටිව් බොහොමයක් තිබුණේ මෙතන. මම මැදිහත් වෙලා මේකේ ලැබ් එකත් බේරා ගත්තා. එතකොට මම හිටියේ හැඳල. මම තමයි චිත්‍රාගාරයට ගිනි තියලා තියෙන කොට මුලින්ම එතනට ගියේ. මේ චිත්‍රාගාරය අයිති වෙලා තිබුණේ ගුණරත්නම්ට. එයා මේක ගිනි තිබ්බට පස්ස් වැඩක් නැහැ කියලා මට මුදලට විකුණලා දැම්මා. මමත් ටික කාලයක් මේක කරගෙන ආවා. අන්තිමට සිංහල සිනමාවේ කඩා වැටීමත් එක්ක චිත්‍රපට නැති වූ නිසා පාඩු පිට පවත්වාගෙන යන්න බැරි නිසා මම ඒක විකුණලා දැම්මා. කෝලාහල වෙලාවේදී චිත්‍රාගාරයට ගිනි තියලා තියෙන වෙලාවේ වැඩ කරපු ද්‍රවිඩ කාර්මිකයෝ සංස්කරණ ශිල්පීන් ඇතුළු බොහෝ දෙනෙක් මගේ ගෙදර අරන් ඇවිත් රැක බලා ගත්තා.

ඔබ චිත්‍රපට අටක් පමණ නිෂ්පාදනය කළා. ඒ හැම චිත්‍රපටයක් තුළින්ම ඔබ කියන්න උත්සාහ කළේ?

මිනිස්කම, නිර්ධන පන්තියේ මිනිසුන්ගේ ඛේදවාචකය. සමාජ අසාධාරණය තමයි මගේ නිර්මාණ හරහා ප්‍රතිනිර්මාණය කළේ.

වෙන්නප්පුවේ කොලින්ජාඩිය ගමේ ඉපදුනු වර්ණකුලසූරිය මහලේකම්ගේ ජෝන් බැප්ටිස්ට් ප්‍රනාන්දු දැන් ඔබේ වයස එහෙම කොහොමද?

මම ඉපදුණේ 1933 ජූලි 09 වැනිදා. දැන් මට වයස අවුරුදු 83 ක්.

චිත්‍රපට අටක් නිෂ්පාදනය කරමින් එහි රංගනයේ නියුතු වූ ඔබ කොපමණ චිත්‍රපට ප්‍රමාණයකට රංගන දායකත්වය ලබා දුන්නාද?

චිත්‍රපට 75 කට පමණ.

සිනමාවටත් නළු නිළියන් එදා ඔබ රැගෙන එන්න ඇති?

කීප දෙනෙක්ම මම සිනමාවට හඳුන්වලා දුන්නා. ඒ අතරින් එක් කෙනෙක් තමයි ජෙනිටා සමරවිර. සිතාරා ප්‍රියදර්ශනී. තවත් අය ඉන්නවා, මට හරියට මතකයට එන්නේ නැහැ.

පවුලේ දරුවෝ බිරිය එහෙම කොහොමද?

මම 1960 කොටහේනේ තිරීස් ප්‍රනාන්දු සමඟ විවාහ වුණා. ඇය 86 දී මිය ගියා. මට දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා. ෂමිලා ප්‍රියදර්ශනී, දුලාරි ප්‍රනාන්දු දුවල දෙන්නත් ශම්මි ප්‍රනාන්දු පුතත් මේ හැමෝම අද විවාහ වෙලා වෙනම පදිංචි වෙලා ඉන්නේ.

දරුවෝ එහෙම සිනමාවට කලාවට එක් වුණේ නැද්ද?

එයාලට පොඩි කාලේ ගොඩක් නිෂ්පාදකයෝ සිනමාවට එන්න කියලා කතා කළා. මගේ පුතා ශම්මි මම නිෂ්පාදනය කළ අංගුලිමාල, රජ කෙල්ලෝ චිත්‍රපට දෙකේ රඟපෑවා. මගේ අධ්‍යක්ෂණයක් වූ අංගුලිමාල චිත්‍රපටයේ අහිංසකගේ චරිතය කළේ පුතා. ඊට පස්සේ පුතා චෙරියෝ ඩාලිං, අලුයට ගිනි, අනේ මාස්ටර් චිත්‍රපට කීපයකම පසුව රඟපෑවා. දුව ෂමිලා මංගල සීනු ටෙලි නාට්‍යයේ රඟපෑවා. දැන් නම් කවුරුවත් රඟපෑමේ නියැලෙන්නේ නැහැ.

මුල්‍ය අපහසුතා මධ්‍යයේ දිවි ගෙවන ඔබට ඔබේම චිත්‍රපට නිෂ්පාදනයන් අටක්ම තියෙනවානේ. අඩුම තරමින් ඒවා රූපවාහිනි ප්‍රචාරයන් සඳහා හෝ ච් ඍ ච් ලෙසින් අලෙවි කරන්න?

කොහොම කරන්නද හෙනහුරු ලබන කොට ඔක්කොම හෝදගෙන ගියා. එක්තරා ව්‍යාපාරිකයෙක් ඒවායේ අයිතිය ගත්තා. ටී. වීවල ප්‍රචාරය කිරීමට පමණක් කියලා මාවත් මුලා කරලා ඔහු මට කළේ. විශාල වංචාවක්. අන්තිමට වුණේ මට මගේ චිත්‍රපට නැතිවීමක් විතරයි.

මේ අසරණ අවධීයේ ඔබ නැවත නැවතත් බලාපොරොත්තු වන්නේ?

මගේ සල්ලි ටික ලබාගන්න. මම වංචා කරලා උපයපු සල්ලි නෙවෙයි. මගේ දේපළ විකුණලා මම තැන්පත් කළ මුදල්. අද මගේ මුදල් අච්චරයි කිය කිය මම දවසින් දවස හූල්ලනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද? අදටත් මම කියන්න් මේ පවතින රජයෙන් ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ට සහනයක් හදලා දෙන්න කියලා. අපේ සල්ලි අපට අරන් දෙන්න කියලා. මම සිනමාවට ආවේ මුදල් හොයන්න නෙවෙයි. ආත්ම තෘප්තියට රඟපෑවා. මගේ ව්‍යාපාරවලින් මම මුදල් හෙව්වා. ඒ කාලේ මම කිරුළක් නැති වුණත් හිටියේ රජෙක් ගාණට.

(සරසවිය පුවත්පත ඇසුරෙනි)