රජිනි කොන්දොස්තර රැකියාව කරද්දී රියැදුරා වූ බහදූර් රහසක් හෙළි කරයි

රජිනි කාන්ත් රඟපාන ‘කබාලි‘ චිත්‍රපටය මේ දිනවල ඔහුගේ අනුගාමිකයින් අතර ඇති කර තිබෙන උන්මාදය දැන් සිනමාව ගැන උනන්දු වන කවුරුත් කතාබහ කරන මාතෘකාවක්. ඔහුගේ චිත්‍රපටය නරඹන්න දවස් ගණන් තිස්සෙ ‍පෝලිම්වල ඉන්න රසිකයින් ගැන කතන්දර අලුත් දේවල් ‍නෙවෙයි.  මේ වනවිට 65 වැනි වියේ පසුවන රජිනි කාන්ත් ඉන්දියාවේ සිටින ධනවත්ම සිනමා තාරකාවක් බවත් රහසක් නොවෙයි. ‘කබාලි‘ චිත්‍රපටය වෙනුවෙන් ඔහු අය කරපු මුදල, චිත්‍රපටයේ ආදායමින්ද කොටසක් සමග ඉන්දියානු රුපියල් කෝටි 80 ක් බව සඳහන් වුණා.

අද මේ තරම් දැවැන්ත චරිතයක් බවට පත්ව සිටියත් ඔහු තරුණ කාලයේ බස් කොන්දොස්තර කෙනෙකු ලෙස ජීවිකාව සරි කරගත් කෙනෙකු බවත් රජිනිගේ රසික රසිකාවන්ට අමුතුවෙන් කියන්න දෙයක් ‍නෙවෙයි.

මේ දවස්වල ඔහුගේ ‘කබාලි‘ චිත්‍රපටය ආදායම් වාර්තා බිඳ දමමින් තිරගත වෙද්දී රජිනිට අමතරව කවුරුත් අවධානය යොමු කරපු තවත් කෙනෙක් සිටින බවයි ඉන්දියානු මාධ්‍ය වාර්තා කරල තිබුණේ. ඒ තමයි එදා රජිනි බස් කොන්දොස්තර කෙනෙකු ලෙස රැකියාව කරද්දී ඔහු සමග එම බසයේ වැඩ කරපු රියැදුරා වන රාජ් බහදූර්. මේ දවස්වල ‘කබාලි‘ තිරගත වන සිනමා ශාලාවලින් බහදූර්ට වැලනොකැඩී ආරාධනා ගලාගෙන එනවලු ඔවුන්ගේ සිනමාශාලාවට ඔහුගේ පවුලත් එක්කම  ඇවිත් චිත්‍රපටය නරඹන්න කියල. මොකද එය ඔවුන්ට මහත් ගෞරවයක් නිසා. එය තමුන්ට දැනෙන්නෙ රජිනි කාන්ත් තමුන්ගෙ සිනමාශාලාවට ආව වගේ කියලලු සිනමාශාලා හිමිකරුවන් සහ සිනමා ලෝලීන් පවසන්නෙ.

‘අපි දෙන්න එකට වැඩ කළේ 1970 දශකයේ. අවුරුදු තුනක් විතර රජිනියි මායි බස් එකේ වැඩ කළා’ තම  මිත්‍රත්වයේ අතීතය ගැන සිහිපත් කරමින් බහදූර් එහෙම කියනවා. ‘ශ්‍රී නගර් සහ කෙම්පෙගෝදා කියන නගර අතර දුවපු බස් එකක තමයි අපි වැඩ කළේ. උදේ 6 ඉඳන් දවල් 2 විතර වෙනකං අපිට වැඩ කරන්න තිබුණා. මට මතක හැටියට අපි දවසකට ගමන්වාර අටක් විතර කරන්න තිබුණා. ඒ කාලෙ තමයි අපි දෙන්නගෙ යාළුකම පටන් ගත්තෙ’

රජිනි කාන්ත්ට රඟපෑමේ හැකියාවක් තිබෙන බව මුලින්ම හඳුනගත්තු කෙනාත් වෙන කවුරුත් නොවෙයි බහදූර්ම තමයි. ‘රජිනි ඒ කාලෙත් ‍පොඩි ‍පොඩි නාට්‍යවල රඟපෑවා. ඔහුට ඉතා පුදුමාකාර දක්ෂකමක් තියෙන විත්තිය ඒ දවස්වලම මට තේරුණා. මම ඉතිං ඔහුට බල කළා චෙන්නායිවලට ගිහින් රඟපෑම ගැන පිළිිවෙළකට ඉගෙනගන්න කියලා.

‘ඇත්තම කිව්වොත් ඒ දවස්වල ඔහුට මුදල් හදල් අතින් එච්චර හොඳ තත්ත්වයක් තිබුණෙ නැහැ. ඒ නිසා  එතැන අවුරුදු දෙකේ රංගන පාඨමාලාව කරන්න මම ඔහුට උදව් කළා. ඔය අතරේ ඔහුව ඇහැ ගැහුණා ඒ දවස්වල ප්‍රසිද්ධම අධ්‍යක්ෂවරයෙක් වෙච්චි කේ. බාලචන්දර්ට. බාලචන්දර් රජිනිව තමාගෙ ‘අපූර්ව රාගන්ගල්’ කියන චිත්‍රපටයට තෝරගත්තා. ඒකෙන්ම ඔහු ප්‍රසිද්ධියට පත් වුණා.’ බහදූර් අතීතය විස්තර කරන්නෙ එහෙමයි.

මැදහත් සිතක් ඇති, තවමත් තනිකඩයෙකු වන බහදූර් කිසිවිටක රජිනිගේ සාර්ථකත්වය පිළිබඳ ගෞරවයෙන් කොටසක් තමා වෙත ලබාගන්නට උත්සාහ නොකරයි. ‘රජිනිට විශාල දක්ෂකමක් තිබුණා. ඔහු එයින් ප්‍රයෝජනය ගත්තා. හැම තිස්සෙම මට වුවමනා වුණේ ඔහු තරුවක් වනු දකින්නයි. ඔහු එය වුවමනාවටත් වඩා සාර්ථක කරගත්තා. ඇත්තම කිව්වොත් මම හීනෙන්වත් හිතුවෙ නැහැ ඔහු මේ තරම් ලොකු තරුවක් වෙයි කියලා’

බහදූර් පවසන්නේ තමා ඔහුගේ සෑම චිත්‍රපටයක්ම පළමු දිනයේම නැරඹිය යුතු බවයි. තමා එය නරඹා තමාගේ විචාරය ඔහුට පවසන තුරු රජිනි ආසාවෙන් බලා සිටින බවයි බහදූර් කියන්නේ.

අති සාර්ථක තාරකාවක් බවට පත්වීම නිසා රජිනි වෙනස් වුණාද? ‘අ‍පෝ නැහැ. ‍පොඩ්ඩක්වත් නැහැ. තවමත් අපි එකිනෙකාට කතා කරන්නෙ ‘ඩා’ කියලයි. (‘ඩා’ යනු දෙමළෙන් යහළුවන් එකිනෙකා අමතන ‘මචං’ වගේ වචනයක්). ඔහු නිකමට හරි බෙංගලෝරයට එනවනං මට කියනවා එයාර්‍පෝට් එකට එන්න කියලා. ඊට පස්සෙ ඔහු බොහෝ වෙලාවට චමරාජ්පත්වල තියෙන මගේ ගෙදරට ඇවිත් නතර වෙනවා. එහෙම නැත්තං  අපි දෙන්නම, ගොල්ෆ් ක්‍රීඩා පිටිය කිට්ටුව තියෙන ඔහුට අයත් නිවසට යනව.’

‘රජිනි බොහෝ අවස්ථාවල මට උදව් කරන්න ඉදිරිපත් වුණා. කිහිප වරක් මට කිව්වා මේ රියැදුරු රස්සාව අත ඇරලා ඔහු සමග වැඩ කරන්න එන්න කියලා. නමුත් මම ඒක පිළිගත්තෙ නැහැ. මුදල් හදල් අතින්වත් මම උදව් බලා‍පොරොත්තු වුණේ නැහැ. මට හිතුණා ඒ වගේ දේවල් නිසා අපේ ශේ්‍රෂ්ඨ මිත්‍රත්වයට බාධාවක් වෙයි කියලා’ බහදූර් කියනවා. කෙතරම් අපූරු මිතුදමක්ද?

2

(අන්තර්ජාල තොරතුරු ඇසුරෙනි)

කිත්සිරි මල්වත්ත