‘එම්.එස්.ජී.’ වෙනුවට ස්වාභාවික කුළුබඩු

අපේ දිවේ තොලේ ගෑවී නො ගෑවී බඩට යන M.S.G. නිහඬ මාරයෙක්. කව්ද මේ M.S.G? ඒ මාරයාට රසායන විද්‍යාත්මකව කියන්නේ ‘මොනෝ සෝඩියම් ග්ලූටමේට්’ කියාය. රටවල් රැසක මේ රසකාරකය තහනම් කොට දැන් බො‍හෝ කල්ගත වී ඇත.

මොනෝ සෝඩියම් ග්ලූටමේට් (Mono Sodium Glutamate) යනු ග්ලූටමික් ඇසිඩිවල අඩංගු වන ලවණ වර්ගයකි. එය ශරීරයට විෂකර නොවූවද අත්‍යවශ්‍ය සංඝටකයක් නොවේ.

ඇමෙරිකා ආහාර හා ඖෂධ අධිකාරිය මඟින් මේ එම්.එස්.ජී. නමැති රසකාරකය “සාමාන්‍ය තරමකින්” ආහාර පාන සඳහා යෙදීම ආරක්ෂා සහිත බවට සහතික කර තිබේ. එහෙත් ආහාර නිෂ්පාදකයන් හා වෙළෙඳුන් මේ “සාමාන්‍ය තරම” යන්න මනිනු ලබන්නේ ඔවුන්ගේ ආදායම වැඩි වන තරමට මිස ජනතාවගේ සෞඛ්‍යයට හිතකර වන්නේ ද යන කාරණය සලකා බලා නොවේ.

අපේ රටේ ආහාර පාන අලෙවි කර්මාන්තයෙහි ප්‍රධානතම රසකාරකයක් බවට එම්.එස්.ජී. පත්ව තිබේ. මේවා කොපමණ විශාල ප්‍රමාණයක් ආහාරපානවලට යොදන්නේ ද යත්: ඒවා මෙරටට ආනයනය කරනු ලබන්නේ කන්ටේනර් පිටිනි. එම්.එස්.ජී. බහාලූ ගුදම් පිටින් මහා පරිමාණයෙන් ආහාරපාන සකස් කරනු ලබන හෝටල මුළුතැන්ගෙවල තිබෙන අයුරු දැකගත හැකිය.

අද අපේ ජනතාව සිය දෛනික ආහාර වේල් තුනෙන් අවම වශයෙන් එකක්වත් බැහැරින් ගැනීමට හුරුවී සිටිති. කාර්යබහුල දිවි පෙවෙත, අවිවේකය හා පහසුව නිසාද ඔවුහු කඩ කෑමට හුරුවී සිටිති. කොත්තු රොටී, ආප්ප, ඉඳිආප්ප, ෆ්‍රයිඩ් රයිස්, බුරියානි මෙන් ම විවිධ සුප් වර්ග, චිලී පේස්ට් හා වෑංජන පවා ඔවුහු හෝටල් හෝ ජංගම කෑම කඩවලින් ගැනීමට හුරුව සිටිති. කඩවල පිළියෙල කරන අල හොද්දේ ලුණුමිරිසේ පටන් ආප්ප වාටිය දක්වාම එම්.එස්.ජී. හෝ වෙනත් රසකාරක යොදා පිළියෙල කරන බව නොරහසකි. දිනෙන් දින වැඩි වැඩියෙන් මේ ආහාර ගන්නෝ ඉක්මණින්ම දියවැඩියාව, අධික රුධිර පීඩනය, කොලොස්ටරෝල් අධික වීම, ෆැටී ලිවර්, ගැස්ට්‍රයිටීස් හෝ ඇතැම් පිළිකාවලට ද ගොදුරු වීමේ අවදානම ඉතා ඉහළය.

එම්.එස්.ජී. බහුලව ශරීරගත වීමෙන් සිරුරට ඇතුළු වන අධික ලුණු ප්‍රමාණය හේතුවෙන් සිරුරේ රුධිරවාහිනී අවහිරතා ඇති වන අතරම ‍චර්ම රෝග හා අසාත්මිකතා ඇති වන බවද සොයාගෙන තිබේ.

එම්.එස්.ජී. අසුරන ලද ප්ලාස්ටික් ඇසුරුම් පවා මඳ කලක් යන විට දිරා ගොස් කැබලි බවට කැඩී යන බව ඒවා අලෙවි කරන්නෝ පවසති. වෙනෙකක් තබා කලක් අප රටේ ‍ගොවීහු එම්.එස්.ජී. වල් නාශකයක් ලෙස ද භාවිතා කළහ. වල් පැළෑටිවලට ඉසීමෙන් ඒවා ක්ෂණිකව මිය යන්නේ නම් එම්.එස්.ජී. මිනිස් සිරුරට කොතරම් හානි කරවිය හැකි දැයි ඔබට සිතාගත හැකි වනු ඇත.

කුඩා දරුවන් අතර ඉතා ජනප්‍රිය ‍ෙට්ස්ට් කඩල, බයිට් පැකට්, අලපෙති, මුරුක්කු මෙන් ම නූඩ්ල්ස් වර්ග සඳහා ද එම්.එස්.ජී. බහුලව යොදා ගැනේ. එමඟින් සිරුරට ඇතුළු වන අධික ලවණ ප්‍රමාණය ඉතා අහිතකර වන අතර එම රසයට ඇබ්බැහි වීමක්ද සිදුවේ. එම්.එස්.ජී. මඟින් ඇති කරන රෝග අතර ‘චයිනීස් රෙස්ටොරන්ට් සින්ඩ්‍රෝම්’ යන නව රෝග ලක්ෂණයක් පිළිබඳවද ඇමෙරිකානු ආහාර හා ඖෂධ අධිකාරිය ජනතාවට අනතුරු අඟවයි. ඇතැම් රටවල එම්.එස්.ජී. භාවිතය සපුරා තහනම් කර ඇත්තේ එහි ඇති අවදානම හඳුනාගෙන ඇති හෙයිනි.

ශ්‍රී ලංකාවේ බෝ නොවන රෝග ව්‍යාප්තිය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති හෙයින් බෝ නොවන රෝග වැළැක්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය වැඩසටහන් රැසක් ක්‍රියාවට නැංවීමට සූදානම්ය. ඒ අතර එම්.එස්.ජී. රසකාරකය භාවිතය සීමා කිරීමට කටයුතු යොදා ඇතැයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි. මින් ඉදිරියට එම්.එස්.ජී. රසකාරකය භාවිතා කිරීමට අවසර ලබා දෙන්නේ ‍තෝරා ගත් සීමිත ආහාර වර්ග ප්‍රමාණයකට බවද ඒ මහතා කියයි. මේ උපදෙස් හා නීති පිළිපදින්නේ ද යන්න සොයා බැලීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන් හදිසි වැටලීම් සිදු කරන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

එම්.එස්.ජී. නිහඬ මාරයෙකි. එය අප මරණය කරා ගෙන යන්නේ නිහඬවය. සෙමෙන්ය. එකී නිහඬ මාරයාගෙන් ජනතාව ගලවා ගැනීම සෞඛ්‍ය නිලධාරීන් වෙත පැවැරීම එතරම් සාර්ථක හෝ ප්‍රායෝගික පිළිවෙතක් නොවනු නිසැකය. කළ යුත්තේ එම්.එස්.ජී. වැනි අත්‍යවශ්‍ය නොවන හානිකර රසකාරක මෙරටට ආනයනය කිරීම සපුරා තහනම් කිරීමයි. ඒ වෙනුවට භාවිතා කළ හැකි ස්වභාවික කුළුබඩු හා රසකාරක ඕනෑ තරම් අපේ රටේ තිබේ. මෙරට වැවෙන ගම්මිරිස්, කුරුඳුපොතු, එනසාල්, සාදික්කා වසාවාසි එම්.එස්.ජී. වලින් දෙන රසයට වඩා වැඩි රසයකින් ද ගුණයකින් ද යුතුය. ස්වාභාවික කුළුබඩු පරිභෝජනයට යළි ජනතාව හුරු කිරීමත්, ජනතාවට ඒවා අවශ්‍ය තරම් ප්‍රමාණයක් සාධාරණ මිලයට ගැනීමට පහසුකම් සැපයීමත් රජයේ වගකීමකි. වස විස නැති ආහාර සංස්කෘතියක් කරා යළි ගමන් කිරීමට අපට හැකි වන්නේ ඒ ආකාරයෙනි.

1

සාගරිකා දිසානායක ජයසිංහ