කුඩු පට්ටම් කිරීම සඳහා TV

පසුගිය දවස්වල ටෙලිනාට්‍ය හා චිත්‍රපට අධ්‍යක්ෂකවරැන් හා කලා අධ්‍යක්ෂකවරැන් මුණගැසීමට අපූරැ පුද්ගලයෙක් ඇවිත් තියෙනවලු.

“මහත්තයෝ, අපි දැකලා තියෙනවා ඕගොල්ලන්ගෙ සමහර නිර්මාණවල වියදම් අඩු කරන්න ගිහිං ඔයාලම පාඩු කරගන්නවා. මොකද ඕගොල්ලන්ගෙ නිර්මාණ බලන්නෙ මේ රටේ බුද්ධිමත් ප්‍රේක්ෂකයො. ඕගොල්ලො බොරැවක් කළාම ඒගොල්ලන්ට තේරෙනවා,* කියලා ඒ පුද්ගලයා කියනවලු.

“මොකක්ද අපි කරන බොරැව?”

“සර්, මෙහෙමනෙ. දැන් හිතමුකො කතාවක තාත්තා හවස ගෙදර එනකොට පවුලෙ කට්ටිය ගෙදර හැම වැඩක්ම අතපසු කරලා ටීවී එක විතරක් බල බලා ඉන්නවා.”

“ඉතිං?”

“දැන් ඒ වගේ සීන් එකක් තාත්වික වෙන්න නම් තාත්තට මළ පැනලා ටීවී එක උස්සලා පොළොවෙ ගහන්න එපායැ. ඒත් අපේ කතාවල එහෙම වෙන්නෙ නෑ, මොකද ටීවී එකක් කුඩුපට්ටම් කරන්න ගියොත් වියදම වැඩියිනෙ…” ඔහු කියනවලු.

“ඉතිං අපි මොනවද කරන්න ඕනෙ…?” අධ්‍යක්ෂකවරයා අහනවා.

“මෙහෙමයි සර්, මා ගාව තියෙනවා වැඩ කරන්නෙ නැති අලුත්ම මාදිලියෙ ටීවී, වොෂිං මැෂිං, ෆ්‍රිජ් වුණත් තියෙනවා. ඕගොල්ලන්ගෙ නිර්මාණවලට ඒවා කුඩුපට්ටම් කරන සීන්වලට බොහොම සාධාරණ ගාණකට දෙන්න පුළුවන්…”

“තමුසෙට කොහෙන්ද ඔය තරම් ටීවී, වොෂිං මැෂිං එහෙම… ?”

“ඇයි සර්, පසුගිය දවස්වල කොළඹ අවට ගංවතුරට යටවුණු ගෙවල්වල බඩු කොච්චර නම් අයින් කළාද? ඕවා ඉතිං ගඟේ, ඇළේ පා කරලා යවනවට වඩා හොඳයිනෙ එක තැනක රුස් කරලා ඒකෙන් ප්‍රයෝජනයක් ගන්නවා. ඒ වගේ ගංවතුරට අහුවුණු බඩු මම එකතු කළා. දැන් ඒකෙන් ප්‍රයෝජනයක් ගන්නයි හදන්නෙ. අපිත් ජීවත් වෙන්න එපැයි මහත්තයො…”

f