එච්.අයි.වී ආසාදනය තරුණයින් අතර ඉහළට

මෙරට තරුණයින් අතර එච්.අයි.වී ආසාදනය වීම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ලිංගාශ්‍රිත රෝග හා එච්.අයි.වී ඒඩ්ස් මර්ධන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා සඳහන් කළේ වයස අවුරුදු 15ත් 25ත් අතර  තරුණයින්ට එච්.අයි.වී ආසාදනය වීම ඉහළ ගොස් ඇති බවයි.

මේ වසරේ ගතවූ පළමු මාස 05 තුළ එච්.අයි.වී ආසාදිතයින් 135 දෙනෙකු හඳුනාගෙන ඇත.

එය පසුගිය වසරට සාපේක්ෂව වැඩිවීමක් බව වෛද්‍ය සිසිර ලියනගේ මහතා පෙන්වාදෙන්නේය.

මේ අතර එච්.අයි.වී ආසාධිතයින් සොයාගැනීම සඳහා සිදුකරන පරීක්ෂණ කටයුතු තවදුරටත් පුළුල් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන ඇත.

දිස්ත්‍රික් මට්ටමින් එච්.අයි.වී රෝගය පිළිබඳව ප්‍රජාව දැනුවත් කිරීම තුළින් ඔවුන් වෛද්‍ය පරීක්ෂණවලට ලක් කිරීම මෙම වැඩපිළිවෙළේ අරමුණ බව වෛද්‍ය සිසිර ලියනගේ මහතා සඳහන් කළේය.

විශේෂයෙන් අවදානම් කණ්ඩායම් ලෙස සැලකෙන ලිංගික වෘත්තියේ යෙදෙන කාන්තාවන්, සමලිංගිකයින් සහ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් වෛද්‍ය පරීක්ෂණ වලට යොමුකිරීම  මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණ වී ඇත.

j